hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූලි 04, පෙ.ව. 10:50



කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී මියගිය සිසු යුවළ ගැන තවත් තොරතුරු රැසක් මේ වනවිට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

කොළඹ 7 ග්‍රෙගරි මාවතේ පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 15ක් වූ මෙම යුවළ මියයාම දිවිනසාගැනුමක්ද? මත්කුඩු භාවිතය නිසා සිදුවූ අත්වැරැද්දක්ද? සෙල්‍ෆි ගසන්නට ගොස් සිදුවූ අත්වැරැද්දක්ද? යන ගැටලු තවම නිරාකරණය කරගන්නට බැරිව ගොස් තිබෙනවා.

මෙලෙස මියගිය පිරිමි සිසුවා ඉන්දියානු ජාතික පියෙකුට දාව උපන් හින්දු භක්තිකයෙකු වන අතර විසුවේ වැල්ලවත්තේය. සිසුවිය විසුවේ කැලණියේය. ඔවුන්ගේ දෙමාපියන්ද එකිනෙකා දැනහඳුනන අතර ඔවුන් දෙන්නා මිතුරන් මිස  ඔවුන් අතර පෙම් සබඳතාවක් තිබුණා යයි දෙපාර්ශවයේම දෙමාපියන් පවසා නැත.

සිද්ධිය දිනයේ කළ ක්‍රියාකාරකම් ගැන විමර්ශනයේදී දැන් සැකකරන කරුණු කිහිපයක්ම මතුව තිබෙනවා.

එකක් වන්නේ  නිවාස ඒකකයක් හිමි යාළුවෙකුගේ නමක් කියාගෙන ඔවුන් මෙම නිවාස සංකීර්ණයට ඇතුළුවී ඇති බවය. යාළුවාගේ කාඩ් පත නැතිව ඔවුනට විදුලි සෝපාන වල ගමන් කරන්නට බැරි අතර ඔවුන් සතුව එය තිබීමද විමර්ශකයින්ගේ අවධානයට යොමුව තිබෙනවා.

3 වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයට ඇතුලුවන්නේද යාළුවාගේ ලියාපදිංචිය අනුව යමිනි.

මෙම සිසු යුවළ මීට පෙර කිහිප අවස්ථාවකම මෙම ස්ථානයට පැමිණ තිබීම නිසා ගොඩනැගිල්ලේ ආරක්ෂක අංශ වලට මොවුන් ගැන වැඩි සැකයක් තිබී නැත.

මේ අතර ඔවුන් කායවර්ධන මධයස්ථානයට ගොස් ඇඳුම් මාරු කරගත් පසු සිසුවා පමණක් ටිකකට පහළට යන අතර ඔහු බාහිරින් එම ගොඩනැගිල්ල දෙසට ආ පුද්ගලයෙකු හමුවේ. එම අවස්ථාවේ මෝටර් සයිකලයකින් පැමිණෙන එම බාහිර පුද්ගලයා සිසුවා අත පාර්සලයක් තබයි.

පොලිසිය හඳුනාගන්නේ ඒ දුම්වැටි බවයි. එම දුම්වැටි සමග මත් වන ද්‍රව්‍ය තිබුනාද යන සැකය දැන් පොලිසියට පැනනැගී ඇත.

67 වන මහලේ හදිසි දොර ඇරගෙන ගොස් ඒ අසළ ඇති කෙටි තාප්පයේවාඩිවී ඔවුන් මත්කුඩු ලබාගන්නා අතරේ වැටුනාද යන සැකය ඒ අනුව පහළවී ඇත.

අඟහරුවාදා සවස මෙම සිසුන් දෙදෙනා මහල් ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් වැටී තිබී 3 වැනි මහලේ තිබී සිරුරු සොයා ගත් බව පරීක්ෂණවලදී අනාවරණය විය.

සිසුන් දෙදෙනාම CIS පාසලෙහි පන්තියේ මිතුරන් වන අතර අඟහරුවාදා සවස 2.40 ට පමණ ත්‍රිරෝද රථයකින් පාසල් නිල ඇඳුමින් සැරසී කොම්පඤ්ඤ වීදියේ ඇල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ල වෙත පැමිණ ඇත.

විමර්ශකයින්ට අනුව, පිරිමි ළමයා සහ ගැහැණු ළමයා ඇතුල්වීමේ දොරටුවේ අල්ටෙයාර් හි ආරක්ෂකයින් වෙත පැමිණ 61 වන මහලේ පදිංචි මිතුරෙකු බැලීමට ඇතුළු වීමට අවශ්‍ය බව පවසා ඇත.

එම මහල් නිවාස ඒකකයට ඇමතීමෙන් පසු ආරක්ෂක නිලධාරියා කිසිවෙකු නොමැති බව ඔවුන්ට දැනුම් දී ඇත. නමුත් පිරිමි ළමයා සහ ගැහැණු ළමයා නිවාස සංකීර්ණයට නිතර පැමිණෙන බැවින් මුරකරුවෝ ඔවුන්ට ඇතුළු වීමට අවසර දුන්හ.

සිසුවා අතේ බෑග් දෙකක්ද සිසුවිය අතේ බෑග් එකක්ද තිබිණි. පසුව දෙන්නා 5 වැනි මහලට ගොස් ඇඳුම් මාරු කරන්නට ව්‍යායාම් ශාලාව භාවිතා කර ඇත. ටික වේලාවකට පසු CCTV දර්ශනවලට අනුව පිරිමි ළමයා යතුරුපැදියකින් ලබා දුන් පාර්සලය ගැනීමට ආපසු බැස ගොස් ඇති බව හඳුනාගන්නට ලැබෙනවා. නැවත 5 වන මහල දක්වා ඔහු යයි.

4.30 ට පමණ ඔවුන් දෙදෙනා අල්ටෙයාර් මහල් ගොඩනැගිල්ලේ 67 වැනි මහලට ගොස් ඇත්තේ එම මහලේ හදිසි පිටවීමේ දොරටුව තිබූ තැනටය.

විමර්ශකයින් විසින් දැක ඇති සීසීටීවී දර්ශනවලට අනුව ඔවුන් දෙදෙනා හදිසි පිටවීමේ දොර විවෘත කර සමීපව පිහිටා තිබූ අඩි හතරක තාප්පයක් මත වාඩි වී ඇති අතර පසුව වැටී තිබෙනවා.

මියගිය සිසුන්ගේ 61 වන මහලේ පදිංචි මිතුරෙකු සිටි බවත්, ඔහු පිරිමි ළමයාට ප්‍රවේශ කාඩ්පතක් ලබා දුන් බවත් ආරංචි මාර්ග සඳහන් කර ඇතත්, මෙම තොරතුරු තහවුරු කිරීම සඳහා පරීක්ෂණ සිදුවෙමින් පවතී.

Altair හි මහල් 70 ක් ඇති අතර, පිටස්තරයින් සඳහා 67 වන මහලෙන් ඔබ්බට ප්‍රවේශය සීමා කර ඇත. හදිසි පිටවීමේ දොරටුවට පිවිසෙන විවෘත පඩිපෙළ අසලින් මියගිය අයගේ පාවහන් සොයාගෙන ඇති අතර ඔවුන්ගේ මළ සිරුරු 3 වන මහලේ එනම් AC ගබඩා කර තිබූ ප්‍රදේශයෙන් සොයා ගත් බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත්, විමර්ශනවලට අනුව, විවෘත පඩිපෙළෙන් ඔබ්බට CCTV කැමරා සවි කර නොතිබූ අතර, ඔවුන් 3 වන මහලට වැටුණේ කෙසේද යන්න තවමත් අපැහැදිලි ය. ඔවුන් ගොඩනැගිල්ලට ඇතුළු වී පැය කිහිපයකට පසු ඔවුන්ගේ සිරුරු සොයා ගන්නා ලදී,ඔවුන්ගේ වැටීම හෝ පැනීම පිළිබඳ ඇසින් දුටු සාක්ෂි නොමැත.

මිය ගොස් ඇත්තේ වැල්ලවත්ත හාමස් ඇවිනිව් පදිංචිව සිටි ඩිවෝන් ශුරෝ ෂින් නමැති සිසුවා සහ කැලණිය සපරමාදු පෙදෙසේ පදිංචිව සිටි රෝස් මිරායි ද සේරම් නමැති සිසුවියයි. මියගිය සිසුවිය සහ සිසුවා සීඅයිඑස් ජාත්‍යන්තර පාසලේ 10 වැනි වසරේ එකම පන්තියක ඉගෙනුම ලබන අතර දෙදෙනා ජාත්‍යන්තර පාසල අසලින් ත්‍රිරෝද රථයකට ගොඩවන අයුරුද එහි සවිකර ඇති සීසීටීවී කැමරාවක සටහන්ව තිබිණි.

සිසුවාගේ සහ සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්විණ.මිය ගිය තරුණියගේ පියා නීතිඥවරයකු වන අතර මව ගණකාධිකාරිනියක බවත් මියගිය සිසුවාගේ පියා මෙරට ව්‍යාපාරයක් පවත්වා ගෙන ඉන්දියානු ජාතිකයකු බවත් පොලිසිය පවසයි.දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබුණේ ද යන්න පිළිබඳව ඔවුන්ගේ මවුපියන් දැන සිට නැත. ඔවුන් මෙදින අල්ටෙයාර් වෙත යන බව නිවැසියන් දැන සිට ඇති අතර ඒ මිතුරෙකුගේ සාදයකට බවත් 100 ක් පමණ එහි එන බව නිවසට කියා තිබූ බවත් හෙළි විය.

සිසුවා සහ සිසුවිය 67 වැනි තට්ටුවේ සිට 3 වැනි තට්ටුවේ වායුසමීකරණ කාමරයට වැටීමේ දී ඇති වූ විශාල ශබ්දය ඇසී කම්කරු සේවකයන් පිරිසක් පොලිසියට කළ දැනුම් දීමකට අනුව කොම්පඤ්ඤවිදිය පොලිසිය විමර්ශන ආරම්භ කර සිරුරු සොයා ගනු ලැබුවා.

මෙම සිසුන් දෙදෙනා මෙම නිවාස සංකීර්ණයට ඇතුළු වූයේ සියදිවි හානිකර ගැනීමේ අපේක්ෂාව ඇතිව නම් ඇඳුම් මාරු කරමින් නොසිට කෙලින්ම ඉහළ මහලට ගොස් සියදිවි හානි කර ගැනීමට ඉඩ තිබුණු බව විමර්ශනවලදී පොලිසියට පෙනී ගොස් ඇත. මෙම සිසුවාගේත් සිසුවියගේත් හැසිරීම ආරක්ෂක කැමරාවලින් නිරීක්ෂණය කිරීමේදී පවා සියදිවි හානි කර ගැනීමට තරම් මානසික තත්ත්වයක් ඉරියව්වලින් පෙනෙන්නේ ද නැති බව පොලිසිය කියයි.

අනතුරින් පිරිමි ළමයාගේ කකුලක් ගැලවී සිරුරෙන් වෙන්වී තිබුණු බව ද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් හමුවන්නට ගියා කියන කාඩ්පත ලබාදුන් නිවාස ඒකක හිමිකාර මිතුරාගෙන්ද පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.

දෙදෙනා එම තට්ටු නිවාසයෙන් වැටුණා ද, පැන්නා ද යන්න පිළිබඳව ස්ථීරයෙන්ම තහවුරු කර ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: