hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 13, ප.ව. 2:36



වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියානු රජයේ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් නොමැති වුවද ඒ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තිබෙන බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

NVQ සහතික කිසිවක් මේ සඳහා අවශ්‍ය නොවන බවයි අද (13) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසූවේ.

වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍රවල පළපුරුද්ද ඇති වයස අවුරුදු 45 දක්වා පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකියි.

මෙම රැකියා සඳහා රුපියල් ලක්ෂ 8 ½ සිට වැටුප් ආරම්භ වන බවත් යම් පුද්ගලයෙක් මේ සඳහා උනන්දුවක් දක්වයි නම් විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශය යටතේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙසත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී පරීක්ෂණ කමිටුවක් මගින් අදාළ උපදෙස් ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ පුද්ගලයින් රැකියා සඳහා විදේශ ගත වීමේදී රාජ්‍ය බැංකු මගින් ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා කියා සිටියා.

ජපන් රජය යටතේද සාත්තු සේවය සඳහා විශාල රැකියා ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඉදිකිරීම් සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටින බවත් කිසිදු රටකින් ශ්‍රී ලාංකිකයන්ට රැකියා සඳහා වීසා ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුර‌ටත් පැවසුවා.

Example Image