2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 10:01
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාල මගින් තමන් වසර ගණනාවක සිට පදිංචිව සිටින ඉඩම් වලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දිඹුලාගල දිවුලපතාන ගම්වාසීන් 06 වෙනිදා සවස වැලිකන්ද මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය වටලා එම කාර්යාලයේ බිම වාඩි වී විරෝධතාවය පළ කළා.
1983 වසරේ සිට පදිංචිව සිටි තමන් ත්‍රස්තවාදී කලබල සමඟ එම ගම් අතහැර යැමෙන් පසුව 2009 වසරේ පැවැති සාමකාමී තත්ත්වයක් සමග පදිංචියට පැමිණි හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය බවත් නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිසකගේ බලපෑම් සහ උවමනාවකට ඔවුන්ගේ ගවයන් තම භූමියට නිදහස් කිරීමේ අරමුණෙන් තමන් එම ඉඩම් වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කටයුතු කරන බවද දිවුලපතාන ගම්වාසීන් සඳහන් කරනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයටත් පොළොන්නරුවටත් මායිම්ව දිවුලපතාන ගම්මානයේ අසරණව ජීවත් වන මෙම සිංහල පවුල් ඉවත් කිරීම වහාම නතර කර ගන්නා ලෙසත්, දිගින් දිගටම සිංහල ජනතාවට බලපෑම් කෙරුවොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගෙන නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාතේ මහා සංඝරත්නයත් ජනතාව එක් කර කරමින් දැවැන්ත අරගලයක් සිදුකර බව මෙහිදී අදහස් දක්වමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සඳහන් කළා.
නැගෙනහිර පළාතේ ඇතැම් පාලකයින්ගෙන් පළාතේ සිංහල ජනතාවට ඉඩම් කඩම් මෙන්ම අනෙකුත් අයිතිවාසිකම් ලබාදීමේදී දැඩි ගැටලු රැසකට මෙන්ම අසාධාරණකම් වලට මුහුණ පෑමට සිදුව ඇති බවත් මේවා සමථයට පත්කර ගැනීමට රටේ ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයාත්, පාර්ලිමේන්තුවේ වගකිවයුත්තන් කටයුතු කළ යුතු බවද අම්පිටියේ සුමනරතන නා හිමියන් අප සමග සඳහන් කළා.
මෙම අවස්ථාවට අරුණපුර ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය කෘත්‍යාධිකාරී පොල්ගහආරාවේ ඤාණානන්ද නාහිමියන් සමඟ දිවුල පතාන ගම්මානයේ ගම්වාසීන් සීයකට ආසන්න සංඛ්‍යාවක් මහවැලි අධිකාරිය කාර්යාලයට පැමිණ විරෝධතාව ප්‍රකාශ කළ අතර මෙහිදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරින් සමග සාකච්ඡා කර විසිඳුමක් නොලැබුණු බැවින් පිරිස පැය දෙකකට ආසන්න කාලයක් හිඳ විසිර ගියා.
2025 ජූනි 02, පෙ.ව. 12:08
2025 ජූනි 02, පෙ.ව. 12:07
2025 ජූනි 02, පෙ.ව. 12:06
2025 ජූනි 02, පෙ.ව. 12:04
2025 ජූනි 02, පෙ.ව. 12:03