hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 30, පෙ.ව. 12:03



මෙරට පාතාලය මෙහෙයවන පුද්ගලයන් ඇතුළු නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා කරන බොහෝ දෙනෙකු දේශපාලනඥයින්ගේ ඇසුරේ පසුවන්නන් බවත් ඔවුන් විසින් සිදු කරන සමාජ විරෝධී ක්‍රියාවන්ට අදාළ වගකීමෙන් දේශපාලනඥයින්ට නිදහස් වීමට නොහැකි බවත් අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියෝ අවධාරණය කරයි.

මැතිවරණ කාලයක් ආසන්න වෙත්ම විවිධාකාර බුදුවරු, බෝසත්වරු යැයි කියාගත් පුද්ගලයින් මතුවන ස්වරූපයක් රටේ දක්නට ලැබෙන බවත් මේවාට මුලා නොවී ජනතාව නිවැරදි මාවතට යොමු කිරීම සඳහා වර්තමානයේ මහා සංඝරත්නයට සුවිශාල කාර්යභාරයක් පැවරෙන බවත්  උන්වහන්සේ පැවසූවා.

පසුගිය කාල වකවානුව දෙස බැලීමේදී මේ ආකාර එක් එක් විකාර රූපී උවදුරු මැතිවරණ කාලයක් ආසන්න වනවිට රටට පාත්වන ස්වරූපයක් දක්නට ලැබෙන්නේ යැයිද උන්වහන්සේ කියා සිටියා.

පොල්ගොල්ල බෝධිමල්කඩ විහාරස්ථාන දහම් පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පාසල් පොත් බෙදා දීමේ වැඩසටහනකට ඊයේ (29) එක් වෙමින් මහනාහිමියෝ මේ බව පැවසූවා.

භික්ෂූන් වහන්සේ මෙන්ම බුදු දහම පවා නිර්ධය ලෙස විවේචනය කරමින් උන්වහන්සේලාට නොයෙක් ආකාරයෙන් අපහාස කිරීමේ වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් බෞද්ධ ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවත් ඤාණරතන මහනාහිමියෝ අවධාරණය කළා.

මත් උවදුරින් රට මුදා ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ වැඩ බලන පොලිස්පතිවරයා විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවත් එය අවසානයක් කරා ගෙන යෑමට ඔවුන්ට කාගේත් සහය ලැබිය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

මේ වනවිට තරුණ පරපුර මෙන්ම පාසල් දරුවන් පවා මත් උවදුරට ගොදුරු වෙමින් තිබෙන බවත් ඉන් රට මුදා ගැනීම ජාතික අවශ්‍යතාවක් බවත් මහනාහිමියෝ පැවසූවා.

සමාජ විරෝධී ක්‍රියාවන් හි නිරත බහුතරයක් දෙනා දහම් අධ්‍යාපනයක් තබා භික්ෂු ඇසුරක් නොලැබූ අය බවත් පාසල් වල අද සතියකට බෞද්ධාගම උගන්වනු ලබන්නේ කාල පරිච්ඡේද දෙකක් පමණක් බවත් පැවසූ මහනාහිමියෝ දරුවන් දහම් පාසල් වෙත යොමු කිරීමට දෙමව්පියන් උනන්දු විය යුතු යැයි ද කියා සිටියා.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන, ජාතික සංඝ සම්මේලනයේ සභාපති  ලියන්වල ශාසනරතන යන හිමිවරුද සහභාගි වූවා.