hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 මැයි 30, පෙ.ව. 10:16



සියම් නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 79 වැනි ජන්ම දිනය අදට (30) යෙදී තිබෙනවා.

ඓතිහාසික මාතලේ දිසාවේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව ග්‍රාමයේදී 1944 මැයි මස 30 වැනි දින ජන්ම ලාභය ලද උන්වහන්සේ ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක ධුරයේ වැඩ විසූ අතිපූජ්‍ය ශ්‍රී සිද්ධාර්ථ සරණංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර රිදී විහාරයේ නායක මාහිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් ලෙස වර්ෂ 1957 ජුනි මස 10 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උ‍පෝසථාගාරයේ දී පැවිදි බිමට පිවිසුණා.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් ඉතිහාසයේ ප්‍රථම වරට මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක පදවියට පත් කරනු ලැබූ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිතාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවත එන වත්මන් මල්වතු මහනාහිමියන් 1964 ජුනි මස 10 වැනි දින වහාල නාග නාමයෙන් උතුම් වූ උපසම්පත්තිය ලැබූවා.

වර්ෂ 1969 වසරේ මල්වතු මහා විහාරයේ ධර්මාචාර්ය ධුරයට පත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ 1974 සිට ඓතිහාසික රිදී විහාරය හා සම්බන්ධ විහාරස්ථානවල අධිපතීත්වය හෙබවූවා.

වර්ෂ 1979 මැයි 10 වැනි දින රාජකීය පණ්ඩිත සිරිමල්වත්තේ විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත ආනන්ද මහනාහිමියන්ගේ නියමය පරිදි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් මල්වතු විහාරීය කාරක සංඝ සභාවේ උප ලේඛකාධිකාරී පදවියට පත් කෙරුණා.

අනතුරුව 1985 නොවැම්බර් මස 09 වැනි දින ලේඛකාධිකාරී ධුරයට පත් උන්වහන්සේ 1992 මැයි මස 13 වැනි දින රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත රත්නපාල සෝභිතාභිධාන අනු නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක පදවියට පත්වූවා.

එවකට මල්වතු පාර්ශ්වයේ මහනාහිමි ධුරය හෙබවූ රඹුක්වැල්ලේ ශ්‍රී ධර්ම රක්ෂිත විපස්ස්‍යාභිධාන මහ නාහිමියන්ගේ අපවත් වීමත් සමඟ පුරප්පාඩු වූ එම මහනායක පදවියට තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් 2004 වසරේ ජුනි මස 04 දින පත්වූයේ මල්වතු කාරක සංඝ සභාවේ සියලු දෙනා වහන්සේගේ කැමැත්තෙන්.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ 26 වැනි මහනාහිමියන් ලෙස පත්වූ උන්වහන්සේ එම පාර්ශ්වයේ මහනාහිමි ධුරයට පත්වූ ළාබාලතම හිමිනම ලෙසද ඉතිහාසයට එක්වෙයි.

මහානායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ ජාතික, ආගමික හා ශාසනික ප්‍රශ්නවල දී මධ්‍යස්ථව අදහස් දක්වමින් සිදු කරනු ලබන මෙහෙවර ජාතික වශයෙන් පමණක් නොව ජත්‍යන්තර ලෙසින්ද පැසසුමට ලක්ව තිබෙනවා.