hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 1:33



හන්තාන රක්ෂිතය ආශ්‍රිතව සිටින කොටින් කීප දෙනෙක් ගම් වැදීම හේතුවෙන් තම දෛනික ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව එම ප්‍රදේශවාසීහු පවසනවා.                                                                   

හන්තාන කඳු බෑවුමේ දිගු කලක් පදිංචිව සිටින මෙම ගම්වාසීහු සඳහන් කරන්නේ මෑත කාලයේ සිට රාත්‍රියට ගම් වඳින කොටින් කීප දෙනෙක් ගවයන්, එළුවන්, බල්ලන්, බළලුන් මෙන්ම කුකුළන් වැනි සතුන් විශාල වශයෙන් මරා දමා ඇති බවයි.

මෙම ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම තත්ත්වය මත තමන්ගේ මෙන්ම කුඩා දරුවන්ගේ ජීවිත පවා අවදානමකට ලක්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් අදාළ වගකිව යුතු අංශ කඩිනම් පියවරක් ගත යුතු බවත්ය.

මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීම සඳහා හා ජනතාව දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් හන්තාන තපෝදාරාම විහාරස්ථානයට නුදුරු ප්‍රජා ශාලාවේ පැවති අතර ඒ සඳහා මහනුවර මූලස්ථාන පොලිසිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ වගකිවයුතු ආයතන නිලධාරීහු එක්ව සිටියා.                                           

මෙම නිලධාරීන් මහජනතාව දැනුවත් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ කොටින් මේ දක්වා ජනතාවට පහරදුන් අවස්ථා ඉතාමත් අවම බවය.

මෙම සත්ව විශේෂය බොහෝ විට මිනිසුන් මගහැර යන බවත් රාත්‍රී කාලයට පමණක් ආහාර සොයා ගම් වදින බවත් එබැවින් තම සතුන් රාත්‍රි කාලයේදී ආරක්ෂිත ආකාරයෙන් රඳවා තැබීමෙන් මෙම උවදුරෙන් මිදිය හැකි බවත් ඔවුහු පෙන්වා දුන්නා.

මේ වන විට හන්තාන රක්ෂිතයේ වනාන්තර එළි කිරීම, එහි බහුලව ගැවසුනු වන සතුන් ජනතාව විසින් මස් පිණිස මරා දැමීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් මෙම කොටින් ගම් වැදීම සිදු වන බවද මෙහිදී ප්‍රකාශ වුණා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී ගම්වැසියන් හට පෙන්වා දුන්නේ ශ්‍රි ලංකාවේ කොටි ගහනය ඉතාමත් ශීඝ්‍රයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති බවත් මෙරටට ආවේණික කොටි මෙන්ම බිලාල කුලයේ ලෝකේ කුඩාම සත්වයා වන කොල දිවියාද මේ වන විට අනතුරට මුහුණ පා ඇති සත්ත්වයන් බවයි.

මෙම අවස්ථාවට පැමිණි හන්තාන සංචාරක නිකේතන සංගමය සඳහන් කළේ මෙම සුවිශේෂී සත්වයා ආරක්ෂා කිරීම සැමදෙනාගේ යුතුකමක් හා වගකීමක් බවය. ඉතා සීමිත ගහනයක් සහිත මෙම සතුන් නිසියාකාරව කළමනාකරණය කිරීම තුළින් මෙම ප්‍රදේශයේ විධිමත් සංචාරක කලාපයක් ඇතිකිරීමේ හැකියාවද ඔවුහු මෙහි දී පෙන්වා දුන්නා.