hit counter

2025 පෙබරවාරි මස 10 වන සඳුදා

2025 පෙබරවාරි 10, පෙ.ව. 11:54



පසුගිය වසර කිහිපය තුළ දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය දැවැන්ත පෙරළියක් කළ කර්මාන්තයක් බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) ජා-ඇල, උතුරු බටගම පිහිටි දේශීයව එකලස් කෙරෙන යතුරු පැදි සඳහා වයර් හානස් ( Wire Harness ) නිපදවන ඇකොලේඩ් වෙන්චර්ස් (Accolade Ventures) කර්මාන්තශාලාව, මෝටර් රථ සඳහා අමතර උපාංග නිපදවන එෆ්.ආර්.පී. ටෙක්නොලොජීස් (FRP Technologies ) කර්මාන්ත ශාලාව, මෝටර් රථ හා යතුරුපැදි සඳහා ආසන හා කවර ඇතුලත් උපාංග නිපදවන ඔටෝ ෆෝම් (Auto Foam) කර්මාන්තශාලා ත්‍රිත්වය නිරීක්ෂණය සඳහා එක්වෙමින්.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වන විට දේශීය වශයෙන් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලා 17ක්, වාහන උපාංග නිපදවන කර්මාන්ත 78ක් පවතින බවත් එම කර්මාන්ත හරහා සෘජු හා වක්‍ර රැකියා 20 000කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති බවත් ප්‍රකාශ කළා.

මේ වනවිට මෝටර් බයිසිකල් එකලස් කිරීමේදී 60% පමණ අගයක් දේශියව එකතුවන අතර මෝටර් රථවලට 25%ක පමණ අගයක් එකතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

TVS, BAJAJ, Hyundai, Proton, Cherry, JMC, Beijing වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් ලංකාව තුළ මේ වන විට එකලස් වන බව පවසන අමාත්‍යවරයා එමඟින් ඩොලර් මිලියන 450ක පමණ විදේශ විනිමයක් ලැබෙන බවත් ප්‍රකාශ කළා.

මෙම අවස්ථාව සඳහා ඇකොලේඩ් වෙන්චර්ස් සමූහ සමාගමේ උප සභාපති ආචාර්ය ජෙරී ජයවර්ධන මහතා, ඇකොලේඩ් වෙන්චර්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී චමත් තෙන්නකෝන් මහතා, එෆ්.ආර්.පී. ටෙක්නොලොජීස් සමාගමේ සාමාන්‍යාධිකාරී දයාන් පීරිස් මහතා, අයිඩියල් ඉන්ඩස්ට්‍රීස් (Ideal Industries Limited) සමාගමේ සාමාන්‍යාධිකාරී ආසිරි විජයසේන මහතා, ටී.වී.එස් සමාගමේ (TVS Lanka Private Limited) ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා, තන්ත්‍රී ට්‍රේලර්ස් (Tantri Trailers) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල හපුතන්ත්‍රී මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.