hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 12, පෙ.ව. 11:58



මැතිවරණ කොමසාරිස් ජෙනරාල් පවසන ආකාරයෙන් ග්‍රාම නිලධාරීන්ට කටයුතු කළ නොහැකි බවත් ග්‍රාම නිලධාරීන් පිළිබඳ ඔහුගේ ප්‍රකාශ තරයේ හෙළා දකින බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න මහතා පවසනවා.

ඒ මහතා ඉහත අදහස් පළ කළේ ඊයේ (11) මහනුවර පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ජාතික සංවිධායකවරයා මෙසේද සඳහන් කළා.

“මේ වන විට ග්‍රාම නිලධාරීන් විසින් දිවයින පුරා ඡන්ද හිමි නාමලේඛන ගණන් ගැනීමේ කටයුතු කරමින් සිටිනවා. ඔවුන් මේ කටයුතු කරන්නේ තවත් දහසක් රාජකාරි මධ්‍යයේයි. ග්‍රාම නිලධාරීන්ගේ භූමිකාව පිළිබඳව කිසිවක් නොදත් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා කරන ප්‍රකාශ පිළිබඳව අපි කනගාටුව පළ කරනවා. ඒ ප්‍රකාශ සංගමයක් වශයෙන් අපි තරයේ හෙළා දකිනවා. අපි කටයුතු කරන්නේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිලධාරීන් වසයෙන් පමණයි. අපි මැතිවරණ දෙපාර්තමේන්තුවේ නෙවෙයි රාජකාරි කරන්නේ. මේ කටයුතු සඳහා අපිට ඉන්ධන දීමනාවක්වත් ලැබෙන්නේ නෑ. සමහර ග්‍රාම නිලධාරීන්ට පවුල් 5000 ක් විතර බලන්න වෙනවා.

බොහෝ ග්‍රාම නිලධාරීන්ට වසම් 02ක රාජකාරි කටයුතු කරන්න වෙනවා.ග්‍රාම නිලධාරීන් 17,000 ක් සිටිය යුතු වුවද දැන් රාජකාරි කරන්නේ 9000ක පමණ පිරිසක්. ග්‍රාම නිලධාරී වසම් 3000ක පමණ ඇබෑර්තු තියෙනවා. තවත් 2000 ක් පමණ ප්‍රසූත හා වෛද්‍ය නිවාඩු අරගෙන තියෙනවා. ඉතින් කොහොමද අපි මේ රාජකාරි මේ කියන විදියට කරන්නේ. මේ කිසිවක් නොදැන මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා කරන ප්‍රකාශ ගැන අපි කණගාටු වෙනවා. මේ වන විට ග්‍රාම නිලධාරීන් මේ ඡන්ද නාම ලේඛන කටයුතු සඳහා දිවා රාත්‍රී නොබලා ගමේ ගෙයක් ගෙයක් ගානේ යනවා.

මේවට නිසි දීමනාවක්වත් අපිට ලැබෙන්නෙ නෑ. මේ කිසිවක් නොදන්න කොමසාරිස් ජෙනරාල්වරයා කියනවා අපි රාජකාරි හරියට කරන්නේ නෑ කියලා. එයා කියනවා තව දවස් 04 යි අපිට දෙන්නේ කියලා. අපි කියනවා ඒ දිනට අපිට කොහොමවත් මේ වැඩේ කරන්න බෑ. අඩුම වශයෙන් තව දින 20 ක් අපට අවශ්‍යයි. සාමාන්‍යයෙන් ඡන්ද හිමි  නාමලේඛන යථාවත් කිරීමේ කටයුතු පටන් ගන්නේ සෑම වසරකම පෙබරවාරි මාසයේ මුලයි. මේ පාර පටන් ගත්තේ මැයි මාසයේ. ඉතින් වැරැද්ද අපේද. මැතිවරණ දෙපාර්තමේන්තුවේ වැරදි අපේ පිට පටවන්න එපා කියලා අපි කොමසාරිස් ජෙනරාල් තුමාගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මහනුවර – කමල් සුරවීර