hit counter

2025 ජූනි මස 12 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 10, ප.ව. 6:35



කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ දී , දිළිදු පවුල් වල පුද්ගලයන් මුදල් දෙන බව පවසා මුළා කරමින් ඔවුන්ගේ වකුගඩු ලබා ගැනීමේ ජාවාරමට අදාළ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඊයේ (09) රාත්‍රී ඩුබායි රාජ්‍යය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරීවරයෙකු ද සනාථ කළා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු මෙම රෝහලේ සුළු සේවකයෙකු ලෙස පෙනී සිටිමින්  දිළිදු පවුල් වල පුද්ගලයන් මුදල් ලබා දෙන බවට මුළා කරමින් වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිය විමර්ශන වල දී අනාවරණය කර ගෙන තිබෙනවා.

මේ පසුබිම යටතේ මොහුට එරෙහිව 2023.01.17 දින අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් පනවා තිබී ඇති අතර ඔහු ඒ බැව් නොදැන ඊයේ (09) රාත්‍රී 08.30 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඩුබායි බලා පළා යාමට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපළේ දී කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින්  අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අද (10) කොළඹ අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහු 02/14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.