hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:04



සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මෑත කාලය තුළ මෙරට සමාජයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ චරිතයක් විය. ඒ සමාජ මාධ්‍ය නාලිකා හරහා විවිධ උත්සව සංවිධානය කිරීමත් සමඟය. ‘කන බොන’ චරිතයක් ලෙස කා අතරත් ප්‍රසිද්ධියට පත්ව සිටි ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය වන්නේ පසුගිය ජුලි 08 වැනිදා උදෑසනය. ඒ දෙනෝදාහක් ගැවසෙන අතුරුගිරිය නගර මධ්‍යයේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි මොහොතේදීය.

බටහිර චිත්‍රපටයක වෙස්ගැන්නුණු එම ඝාතනය මෙරට ජන සමාජය තුළ ඇති කළේ විශාල බලපෑමකි. එම සිදුවීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනයට ලක් වූ අතර තවත් සිව් දෙනකු තුවාල ලැබීය.

ක්ලබ් වසන්ත ඝාතනය සිදුවීමත් සමඟ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කෙරිණි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් ටැටූ මධ්‍යස්ථානයේ මෙන්ම අවට සවිකර ඇති සීසීටීවී කැමරා පද්ධති නිරීක්ෂණය කරමින් අපරාධකරුවන් සෙවීමේ කටයුතු ආරම්භ කළේය.

පොලිස් කණ්ඩායම්වලට එහිදී අනාවරණය වන්නේ මෙම ඝාතන සිද්ධියට තිදෙනකු පැමිණ ඇති බවයි. ඒ මෝටර් රථයේ රියැදුරු සහ ටී පනස් හය ගිනි අවි අතින් ගත් පුද්ගලයන් දෙදෙනෙකු වශයෙනි.

මාර්ග දෙපස සවිකර ඇති සීසීටීවී කැමරා නිරීක්ෂණය කළ පොලිස් නිලධාරීන් අනාවරණය කරගන්නේ අපරාධය සිදුකළ ඝාතකයන් තිදෙනා මෝටර් රථයෙන් මඳ දුරක් ගොස් ඉන්පසු වෑන් රථයකට මාරුවන අයුරුයි. ඉන්පසු දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා බස් රථයකින් කතරගම ප්‍රදේශයට පලා ගොස් ඇති බවයි.

දීර්ඝ ලෙස විමර්ශන සිදුකර නිලධාරීන් පුද්ගලයන් හත් දෙනකුට අධික කණ්ඩායමක් සහ අපරාධය සිදුකිරීමට පැමිණි මෝටර් රථය වෑන් රිය මෙන්ම පලා ගිය බස් රථය අත්අඩංගුවට ගත්තද ඝාතනයට යොදාගත් අවි ආයුධ හෝ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට ලැබුණේ නැත. මේ වන වි ඔවුන් සියලු දෙනා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

ඒ අනුව විමර්ශන කටයුතු පුළුල් කළ පොලිස් නිලධාරීන් මෙම සිද්ධියට සෘජුව සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු හඳුනා ගැනිණි. ඒ තාරුකර ඉන්දික ද සිල්වා නොහොත් සංඛ, පැටී හරඹගේ අජිත් රෝහණ හෙවත් චණ්ඩි සහ මුතුවාදුර තරිඳු මදුසංක ද සිල්වා නොහොත් බහිරවයා යන පුද්ගලයන් තිදෙනා මේ සඳහා සම්බන්ධ බවයි. ඔවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට හෝ අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා තිබුණේ ක්ලබ් වසන්ත ඝාතනයේ විමර්ශන එම ඒකක දෙක මගින් සිදුකළ නිසාය.

ඔවුන්ගේ ඡායාරූප පවා මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කළේ මහජන සහාය ලබා ගැනීමේ අරමුණිනි. අපරාධකරුවන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුණ තැන පොලිසිය මුලින් සැක පහළ කළේ මෙම අපරාධකරුවන් රට පනින්නට ඇති බවයි. නමුත් මෙම අපරාධකරුවන් රට හැර ගොස් නැති බව තහවුරු කරගත් පොලිස් නිලධාරීන් සියලුම පොලිස් ස්ථාන වෙත මෙම අපරාධකරුවන්ගේ ඡායාරූප හා තොරතුරු යොමුකර තිබිණි.

ඉකුත් 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ස්ථාපිත කොට ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැණිනි. ඒ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීය.

පොලිසිය ඔවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම හමුවේ ඉන් එක් අයකු පැටී අරඹගේ අජිත් රෝහණ නොහොත් චණ්ඩි යන සැකකරු බවත් ඔහු ක්ලබ් වසන්ත ඝාතනයට සෘජුවම සම්බන්ධ වූවකු බවත් පොලිසිය අනාවරණය කරගත්තේය. ක්ලබ් වසන්ත ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනාගෙන් ප්‍රධාන වෙඩික්කරු බවට චණ්ඩි හඳුනාගෙන තිබිණ.

මේ අතර දෙහිවලදී අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනාගෙන් එක් අයකු තාරුකර වරුණ ඉන්දික ද සිල්වා නමැත්තා බවටද පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය විය. ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරුවන් බස් රථයකින් කතරගම ප්‍රදේශයට රැගෙන යෑම බව පොලිසිය පවසයි.

වරුණ ඉන්දික සිල්වා නමැත්තාත් අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඝාතනය සඳහාම අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන තිබූ අතර වෙඩික්කරුවන් ප්‍රහාරයට පෙර රැඳී සිට ඇත්තේ එම නිවසේ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පැටී අරඹගේ අජිත් රෝහණ හෙවත් චණ්ඩි නමැත්තා අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. කලින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සේවය කොට ඇති චණ්ඩි ඉන් ඉවත්වා කුරුඳු තැලීම සිය රැකියාව ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර ඊට අමතරව අපරාධ කල්ලි සමඟ සම්බන්ධව විවිධ අපරාධ ක්‍රියාවල නිරත පුද්ගලයෙකි. එමෙන්ම ඔහු මීට පෙරද මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.

අත්අඩංගුවට ගත් වරුණ ඉන්දික ද සිල්වා සහ චණ්ඩි අහුන්ගල්ලේ ලොකු පැටිගේ සමීපතමයන් වේ. චණ්ඩි නමැත්තා විදේශගත වීමට සූදානමින් සිට ඇති අතර කටුනායක ගුවන්තොටුපළෙන් විදේශගත වීමට ඇති බිය නිසා ඔහු ජංගම දුරකථන සහ සිම්පත් මාරු කරමින් තැන තැන රැඳී සිට ඇතැයිද කියනු ලැබේ. ඔහු කටුනායක හරහා විදේශගතවීමට බිය වී ඇත්තේ ඔවුන් සම්බන්ධ සියලු තොරතුරු සහ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම හේතුවෙනි.

මෑත කාලයේදී කටුනායක ගුවන්තොටුපළ හරහා විදේශගතවීමට උත්සාහ කළ පාතාල නායකයන් මෙන්ම අපරාධකරුවන් රැසක්ම මුහුණු හඳුනාගැනීමේ තාක්‍ෂණය හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථා රැසක් වාර්තා වීම චණ්ඩි කටුනායක ගුවන්තොටුපළ හරහා විදේශගතවීම ප්‍රමාදවීමට බලපා ඇත.

පොලිසිය විසින් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් ද සොයාගැනීමට විමර්ශන කටයුතු සිදුකළ නිලධාරීන්ට හැකි වී තිබේ. කෙසේ නමුත් එම ගිනිඅවිය ක්ලබ් වසන්ත ඝාතනයට යොදාගත්තේද තහවුරු කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති අතර ගිනි අවිය රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද විමර්ශන කටයුතු සිදුකරන නිලධාරීන් කටයුතු කර ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් ටී පනස් හය පතුරම් ඇතුළු විවිධ වර්ගයේ පතුරම් 283ක් ටී 56 පතුරම් ගැබ් 2ක් පිස්තෝල පතුරම් ගැබ් 2ක්, අත්විලංගුවක් සහ ජංගම දුරකථන තුනක්ද පොලිස් නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ටී 56 පතුරම් අතර KPI ලෙස සඳහන් උණ්ඩවලට සමාන උණ්ඩ දොළහක්ද තිබී ඇතැයි වාර්තාවේ. ක්ලබ් වසන්තට වෙඩි තැබූ ස්ථානයේ තිබී සොයාගත් උණ්ඩවලද KPI ලෙස සටහන්ව තිබිණි.

චණ්ඩි අත්අඩංගුවට ගැනීමත් සමග විමර්ශන කටයුතුවලට නව ප්‍රබෝධයක් ලැබිණි. අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් ලත් තොරතුරු මත වසන්ත ඝාතනයට පැමිණි අනෙක් සැකකරු ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පදිංචි සජිත් ශ්‍රීයන්ත ද සිල්වා නොහොත් පොඩි බලයා බවත් අපරාධය සිදුකළ දිනයේ මෝටර් රථය පදවා ඇත්තේ අහුන්ගල්ල තොටවත්ත පාරේ පදිංචි චරින්දු මදුසංකද සිල්වා නොහොත් බහිරවයා නමැති පුද්ගලයා බවත් විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබිණි.

පසුගිය 28 වැනිදා සවස පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක මහතාට ඉතා සුවිශේෂි තොරතුරක් ලැබිණි. ඒ ක්ලබ් වසන්ත ඝාතනයට සොයමින් සිටින සැකකරුවන් දෙදෙනකු පිංවත්ත බස් නැවතුම්පළ ඉදිරිපිට රැඳී සිටින බවටයි. එම පණිවුඩයෙන් කියවුණේ ඔවුන් කිසියම් වාහනයක් පැමිණෙනතුරු අදාළ ස්ථානයේ රැඳී සිටින ආකාරය දර්ශනය වන බවයි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ උපදෙස් මත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඔවුන්ට එම ස්ථානයෙන් පලායෑමට ඉඩ නොදී වහා අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙන යෑමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම් ඇරඹිණි. එහිදී සැකකරුවන් පවසා ඇත්තේ මෙලෙසිනි.

“අපේ ටාගඩ් එක වුණේ ක්ලබ් වසන්ත. ඌට බොඩි ගාඩ්ලා ඉන්න නිසා මුලින් බොඩි ගාඩ්ලට ෆයර් කරලා පස්සේ වසන්තට ෆයර් කළා” යනුවෙනි.

ඝාතනය සිදුකිරීමට පෙර තමන් අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක නැවතී සිටි බවත් ජුලි 8 වැනිදා උදෑසන අපරාධය සිදුකිරීමෙන් පසු කඩුවෙලට පැමිණ විශේෂ බස් රථයෙන් මාතර දික්වැල්ල කරා ගමන් කළ බවත් වැඩිදුරටත් පවසා ඇත.

මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායි හි රැඳී සිටින පුද්ගලයකු මාර්ගයෙන් තමන්ට ලැබුණු බවත් ඝාතනයට පෙර දින තමන් ඇතුළු පිරිස අතුරුගිරියේ නිවසේ රැඳී සිටින විට පැමිණි පුද්ගලයකු ඉලක්කගත පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන්වා පසු දින ඔහුව මරා දැමිය යුතු බවත් ඡායාරූපයේ සිටි පුද්ගලයා ක්ලබ් වසන්ත බව තමන් දැනගත්තේ පසු දින ප්‍රවෘත්ති වලින් බවත් සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කොට ඇත.

මෙම ඝාතන කොන්ත්‍රාත්තුව කංජිපානි ඉම්රාන්ගේ සහ ලොකු පැටීගේ කීම මත සිදුකළ බවත් දුන් මුදලට අමතරව තවත් මුදල් ප්‍රමාණයක් ලබාදෙන බවට පොරොන්දු වූ බවත් ඝාතකයන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කොට ඇත.

ඝාතනය සිදුකිරීමට පෙරදින ඡායාරූපය ලබාදුන් පුද්ගලයා විසින් KPI ලෙස සටහන් කළ උණ්ඩ යෙදූ මැගසින් සහිත ටී 56 ගිනි අවි දෙක ලබාදී පිටව ගිය බවත් පසුදින උදෑසන තමන් බහිරවයා නමැත්තා සමඟ මෝටර් රථයකින් අතුරුගිරියේ පිහිටි එම ටැටූ මධ්‍යස්ථානයට ගොස් මෙම වෙඩි තැබීම සිදුකළ බවත් පාපොච්චාරණය කර ඇත.

එහිදී ටැටූ මධ්‍යස්ථානයට මුලින් ඇතුළු වී ඇත්තේ පොඩි බලයා නමැති වෙඩික්කරුය. ඔහු සිතා ඇත්තේ කේ. සුජීවාගේ සැමියා ක්ලබ් වසන්තගේ ආරක්ෂකයෙකු යැයි කියාය. ඒ අනුව මුලින්ම ඔහුට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කළ පොඩිබලයා ඉන්පසු මැගසීනයේ උණ්ඩ ඉවර වන තෙක්ම ක්ලබ් වසන්තට වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් පසු මෝටර් රථයෙන්ම පලා ගිය සැකකරුවන් තිදෙනා පසුව වෑන් රථයකට මාරුවී එතනින් බස් රථයෙන් පලා ගොස් ඇති අතර මාතරදී ගිනි අවි දෙක වෙනත් අයෙකුට ලබාදී කතරගම ප්‍රදේශයට ගොස් ඇත. එහිදී ඩුබායි සිට දුරකථනයෙන් ඇමතු ලොකු පැටී තමන්ට සුබ පැතු බව සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

අදාළ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් අවස්ථා කීපයකදී තමන්ට රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාදුන් බවත් පසුදින තමන් මාතරට පැමිණ විසිර ගිය බවත් සැකකරුවන් පොලිසිය හමුවේ ප්‍රකාශ කොට ඇත.

කෙසේ වෙතත් මාධ්‍ය මඟින් තමන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ වීම නිසා තැන තැන සැඟව සිටීමට සිදුවූ බවත් අවසානයේ ඔවුන් දෙදෙනාට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ අමල් සිල්වා නමැත්තාගේ නිවසේ නවාතැන් ගන්නා ලෙස ඩුබායි සිට උපදෙස් ලැබුණු බවත් ඒ අනුව දින 21ක් එම නිවසේ රැඳී සිටි බවත් තමන්ගේ පරිහරණයට අමල් සිල්වා දුරකථනයක් ලබා දුන් බවත් සැකකරුවන් දෙදෙනා ප්‍රකාශ කොට ඇත.

ඒ අනුව විමර්ශන කටයුතු මෙහෙයවූ නිලධාරීන් විසින් සැකකරුවන්ට නවාතැන් සැපයීම යන චෝදනාව යටතේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකොට ඇති අතර එහිදී ඔහු සඳහන් කොට ඇත්තේ කංජිපානි ඉම්රාන් පැවසූ බව සඳහන් කරමින් ජූඩ් නමැත්තෙකු තමන්ට දුරකථන ඇමතුමක් ලබාදී ඔහු හමුවට එන පුද්ගලයන් දෙදෙනාට ආරක්ෂාව සලසන ලෙස පැවසූ බවයි.

මාකඳුරේ මධුෂ් කංජිපානි ඉම්රාන් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම ජාවාරම්වලින් ඉපැයූ මුදල් සුදු කිරීම ක්ලබ් වසන්ත විසින් කාලයක් තිස්සේ සිදුකර ඇති බවත් මධුෂ් මිය යෑමෙන් පසුව මධුෂ්ට හා කංජිපානිට ලැබිය යුතු රුපියල් කෝටි ගණනක මුදලක් ක්ලබ් වසන්ත ලබා නොදීම මේ ආකාරයෙන් ඝාතනය කිරීමට හේතු වී තිබෙන බව විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීහු සඳහන් කරති.

මෙම අපරාධය සිදුකළ සැකකරුවන්ට ලක්ෂ ගණනක මුදලක් ලබාදීමට පොරොන්දු වුවත් කංජිපානි සහ ලොකු පැටී බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වීම නිසා ඔවුන් විශාල ගැටලුවකට පත්වී ඇත. අවසානයේ සැඟව සිටීමට පවා තැනක් නොමැතිව පුද්ගලික හැඳුනුම්කම් මත විවිධ ස්ථානවලට මාරුවෙමින් සිට ඇත. මෙම සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වන විට ඔවුන් සන්තකයේ තිබී ඇත්තේ රුපියල් හතළිහක මුදලක් පමණි.

ක්ලබ් වසන්ත ඝාතනය රටේ මහත් ආන්දොළනයක් ඇතිකළ සිද්ධියක් වූ බව සත්‍යයකි. නමුත් තවමත් මෙම කොන්ත්‍රාත්තුව පිළිබඳ හෙළිවී ඇත්තේ නිවැරදිම තොරතුරුදැයි සැක සහිතය. ඒ පසුගිය කාලයේ මෙම ඝාතන සිස්ධිය සම්බන්ධයෙන් විවිධ කටකතා ප්‍රචාරය වන පසුබිමකය.

පින්වත්ත බස් නැවතුම්පළේදී දෙවන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර, පොලිස් පරීක්ෂක තිලකරත්න, පොලිස් සැරයන් ලාල් (18397) කොස්තාපල්වරුන් වන (76003) අමරජීව (80100) පුෂ්පකුමාර (82409) සහ පොලිස් කොස්තාපල් රියැදුරු කසුන් (80452) යන නිලධාරීන් විසිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: