hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු 21, පෙ.ව. 12:19



පාරිභෝගිකයන් අනවශ්‍ය කලබලයකින් යුතුව ආහාර ද්‍රව්‍ය රැස් කිරීමෙන් වැළකිය යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.

මේ වන විට දිවයින සතුව ප්‍රමාණවත් තරම් ආහාර සංචිත පවතින බැවින්, ඉදිරි උත්සව කාලසීමාව තුළ කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට රජය පියවර ගෙන ඇති බව හෙතෙම පැවසීය.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ආනයනකරුවන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වීමට නියමිත අතර, සැපයුම් ජාල අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද අනුකමිටුව ද  රැස්වන බවයි.

ඉදිරි උත්සව සමය සහ යල් කන්නයේ වගා කටයුතු ආරම්භ වීම සැලකිල්ලට ගනිමින් තෙල්, පොහොර සැපයීම, වී මිලදී ගැනීම, සහල් නිෂ්පාදනය මෙන්ම වෙළඳපොළේ ලූනු සහ සීනි වැනි ද්‍රව්‍ය සුලභ කිරීමට අවශ්‍ය පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

පවතින යුදමය තත්ත්වය හමුවේ මෙරටට වැඩිපුරම හාල්මැස්සන් ගෙන්වන ඉරානයෙන් ලැබෙන සැපයුමේ යම් බිඳවැටීමක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ වෙනුවට විකල්පයක් ලෙස තායිලන්තයෙන් හාල්මැස්සන් ආනයනය කිරීමට මේ වන විටත් මෙරට ආනයනකරුවන් කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.

එහිදී ආනයනකරුවන් කියා සිටියේ ඉදිරියේදී භාණ්ඩ මිල ඉහල යා හැකි නමුත් භාණ්ඩ හිගයක් නොවනු ඇති බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: