hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 18, ප.ව. 1:18



“විදුලි ගාස්‌තුව සියයට 66කින් වැඩි කළ නිසා ජල ගාස්තුව වැඩි කිරීමට අපට සිදුව තිබෙනවා. ජනතාවට බලපෑමක්‌ නොවන ආකාරයට එම ජල ගාස්තු වැඩිවීම සිදුවන අතර යෝජිත සැලැස්ම විපක්ෂ නායක කාර්යාලයටත් යවා තිබෙනවා. විරුද්ධ පක්ෂ ද මේ සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.” යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ  මහලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවා.

පාර්ලිමේන්තුව අද (18) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර කථානායකවරයාගේ නිවේදනය ඇතුළු මූලික කටයුතු අවසන් වූ පසු වාචික පිළිතුරු සඳහා ප්‍රශ්න වටය ආරම්භ කරන ලදී.

ජල ගාස්තු සම්බන්ධයෙන් ජාතික සමගි බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කළා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තොණ්ඩමන් මහතා මෙසේද පැවසුවා.

“මේ ප්‍රශ්නය මතු කිරීම ගැන මම මුලින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාව ගැන මම පසුගිය පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරලා තිබුණා. විදුලි බිල සියයට 66 කින් ඉහළ දමා ඇති බැවින් ජල සම්පාදන අංශය කළමණාකරණය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 425 වෙනවා. මීට අමතරව රුපියල් මිලියන 2,400ක ණය මුදලක් ගෙවනවා. ඊට හේතුව මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමයි. එය නිවැරදි කිරීම සඳහා පියවරක් ලෙස මෙය සිදු කෙරෙන්නේ.

ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධව උපදේශක කමිටු රැස්වීමක් හෙට දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. පවුලක පස් දෙනෙක් ඉන්නවා නම් ජලය පාවිච්චි කරන්නේ ඒකක 15ක් 20ක් විතරයි.
ජල ගාස්තු ඉහළ දැමීමෙන් මොවුන්ට සහ සමුර්ධි භාවිත කරන්නන්ට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ජල ගාස්තුව වැඩි කිරීමේ අදහස විපක්ෂ නායක කාර්යාලයට ද යවා තියෙනවා. අපිට මිනිස්සුන්ගේ බඩට ගහන්න අදහස් කරන්නේ නැහැ.

ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මම පසුගියදා රැස්වීමක් පැවැත්වූවා. විරුද්ධවාදීන් මෙයට සහභාගි වුණේ නැහැ. එදා නැති සැලකිල්ල අද එකපාරටම ආවේ ඇයි? නිදාගෙන ඉන්න කෙනා අවදි කරන්න පුලුවන්. නමුත් නිදාගන්නෙකු මෙන් ක්‍රියා කරන තැනැත්තා අවදි කළ නොහැකි.” යැයි අමාත්‍යවරයා පැවසීය.