hit counter

2024 ජූනි මස 29 වන සෙනසුරාදා

2024 ජූනි 27, පෙ.ව. 12:02



විදේශ රටවලින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර විද්‍යුත් වයර් රෝල් දිවයින පුරා අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වෙනවා.

SLS ප්‍රමිති සහතිකය නොමැති මෙම වයර් රෝල වර්ගවල නිෂ්පාදිත ආයතනයක් නොමැති වුවත් ප්‍රසිද්ධ වෙළෙඳ නාමවලට සමාන ලේබල අලවා අලෙවි කරන බව ආරංචි මාර්ග පවසන්නේ.

සාමාන්‍යයෙන් වයර් රෝල “කොපර්” වලින් නිෂ්පාදනය කළ යුතු වුවත් වෙළෙඳපොළේ අලෙවි කරන මෙම බාල වර්ගයේ වයර් රෝල් ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කර ඇති බවත්, ඒ, හේතුවෙන් මෙම විද්‍යුත් වයර් රෝල් භාවිත කිරීම තුළින් විද්‍යුත් උපකරණ විනාශ වන බවට පාරිභෝගිකයින් ප්‍රකාශ කර තිබෙනවා.

වෙසක් හා පොසොන් උත්සවවල සැරසිලි ආලෝකමත් කිරීම සඳහා මෙම වයර් රෝල් වෙළෙඳපොළේ අලෙවි කර ඇති අතර මේවා පිටකොටුව ප්‍රදේශයෙන් දිවයින පුරා බෙදා හරින බවද අනාවරණය වී ඇත.

එමෙන්ම වයර් රෝලක් රුපියල් 1000 – 2000 අතර අඩු මුදලකට අලෙවි කරන අතර මෙවැනි බාල වර්ගයේ වයර් රෝල් මිලදී නොගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාල බාල වර්ගයේ වයර් රෝල් සෙවීම සඳහා අධිකාරිය අද (26) සිට විමර්ශනද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර නියමිත ආකාරයට සකස් කරන ලද වයර් රෝලවල SLS ප්‍රමිති සහතිකය, නිෂ්පාදන ආයතනය හා කොපර්වලින් නිෂ්පාදනය කර තිබීම යන කරුණු වයර් රෝලවල සටහන්ව තිබිය යුතු බව සිය අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනවල සඳහන් බවත් ඔවුන් සඳහන් කරනවා.