hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2023 ජූනි 15, පෙ.ව. 10:42



දුම්රිය හරස් මාර්ගය ඔස්සේ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනාව මත බස්  රියැදුරකු හා මගී ප්‍රවාහන  බසයක් පෙරේදා (13) සිය භාරයට ගත් බව පොල්ගහවෙල පොලිසියේ රථවාහන අංශය පැවැසුවා.

එම මගී ප්‍රවාහන බස් රථය ගල්නෑව සිට කොළඹ දක්වා මගීන් ප්‍රවාහනය කරමින් තිබූ  එකක් වන අතර කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ  යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ රතු සංඥා එළි දැල්වී අනතුරු ඇඟවීමේ සීනුව නාද වෙමින් ගේට්ටුවද වැසෙමින් තිබියදී මෙම බස්රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.

පෙරවරු හතට පමණ පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියක්  දුම්රිය ආරක්ෂක ගේට්ටුව පසුකරන අවස්ථාව වනවිට බස් රථයද දුම්රිය ගේට්ටුව පසුකර තිබී ඇත. බස්රථය හා දුම්රිය අතර ඒ මොහොත් තිබී ඇත්තේ අඩි දෙකකටත් වඩා අඩු දුරක්.

 සිද්ධිය වන අවස්ථාවේ පිටුපස සිටි රියැදුරකු විසින් අන්තර්ජාලය වෙත යොමුකර තිබූ ඡායාරූප මත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇක. 2006 අප්‍රේල් 27 වැනිදා මෙම ස්ථානයේදී බස් රථ රියැදුරකු ගත් මෙවැනිම තීරණයක් මත බස් රථය දුම්රියේ ගැටී මිනිස් ජීවිත විශාල ගණනක් අහිමිවූ අතර තවත් පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත් වුණා. 

වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්පති හා සහකාර පොලිස් අධිකාරි (V) නියෝග හා උපදෙස්  මත පොල්ගහවෙල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.ආර්. වැන්ඩර්ලන්, උ.පො.පා. විජේරත්න, පො.සැ. චමින්ද (61173), සිසිර (30533), උපාලි (27084), මහින්ද (45572), පො.කො. ඉෂාර (99758) යන නිලධාරීන් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනය කර අදාළ රියැදුරු හා බස් රථය සිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් රියැදුරු 14දා පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.