hit counter

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා

2025 පෙබරවාරි 20, ප.ව. 5:33



ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක පමණ චෙක්පත් නිවැරදි ක්‍රියාලියකින් තොරව ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා

මෙම චෙක්පත් සඳහා හිටපු සභාපතිවරයා අත්සන් කොට ඇත්තේ මෙම ගෙවීම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතියකින් තොරව, නිලධාරීන්ට බලපෑම් කරමින් 2024 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයට පෙර දින බවත් මෙහිදී හෙළිව ඇත්තේ

මේ අනුව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමේදී නිලධාරීන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් පමණ ලැබුණු බවයි

එමෙන්ම එවකට හිටපු සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් සහතික කොට චෙක්පත් නිකුත් කිරීමට සිදු වූ බවත් එහිදී අනාවරණය වුණා

සේවා සභාවේ ගණන් දීමේ නිලධාරීයා ලෙස හිටපු සභාපතිවරයා නිර්දේශ කිරීමෙන් පසු එය කිරීමට සිදු වූ බවත් එසේ නොකළේ නම් තමන් ස්ථාන මාරු කිරීම් වලට ලක් කරන බවත් මෙහිදී නිලධාරීහු ප්‍රකාශ කළා

මෙහිදි කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ මෙය ඉතා සංවේදී කරුණක් බවයි.

රාජ්‍ය නිලධාරීන් බිල්ලට දී ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා මුදල් අවභාවිත කොට ඇති බවත් එසේම නිලධාරියාටද මෙවැනි කරුණු වලදී විරුද්ධවීමට පෞරුෂයක් පැවතිය යුතු බව ද පෙන්වා දුන් කාරක සභාවේ සභාපතිවරයා තමන්ට පැවරුණු කාර්යභාරය නිවැරදිව ඉටු කරන ලෙස සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා

මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වන අතරතුර ජාතික තරුණ සේවා සභාවේ එවකට සිටි මුදල් අධ්‍යක්ෂවරයා කාරක සභාවට පැමිණ සිටියද කාරක සභා‍ව අවසන් වන වේලාව වන තෙක්ම ඔහු අදහස් පළ නොකර සිටීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වුණා.

එමෙන්ම පහළ නිලධාරීන් අදහස් ඉදිරිපත් කරද්දී නිශ්ශබ්දව සිටීම කාරක සභාව නොමග යැවීමක් බවත් මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් මෙහිදී කාරක සභාව පෙන්වා එහිදී පෙන්වා දුන්නා

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවීමට මෙහිදී තීරණය කෙරුණු අතර අද (20) මෙම සාකච්ඡාව වැඩිදුරටත් පැවැත්වීමට මෙම ආයතනය කෝප් කමිටුවට කැඳවීමට තීරණය කෙරුණා

එසේම ගැටලු සහගත තත්ත්වයන් රැසක් පැහැදිලි වන බැවින් ජාතික තරුණසේවා සභාව, ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගම සහ ජාතික තරුණ සේවා සමූපකාර සමිතියේ අවශ්‍යතාවය සහ අනෙකුත් සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් කෝප් කාරක සභාවට ලබාදීමට මෙහිදි නිර්දේශ කර තිබෙනවා