hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 මාර්තු 22, පෙ.ව. 9:17



ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පත්කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මායාදුන්න චින්තක අමල් සහ ගෙවිඳු කුමාරතුංගගේ යෝජනා ස්ථිරත්වයෙන් ඔහු තෝරාගෙන තිබෙන බවයි පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ වැඩ බලන අධ්‍යක්ෂ සන්නිවේදන එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා නිවේදනය කරන්නේ.

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන්ගේ නම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් යෝජනා කිරීමත්, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ඊට විරුද්ධ නොවී එය ස්ථිර කිරීමත් පිළිබඳව තමා සතුටු වන බවයි සභාපති ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කාරක සභාව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වැනි ආයතන මෙම කාරක සභාව හමුවට කැඳවා සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු පවසා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ඒ.එල්.එම්. අතාවුල්ලා, මායාදුන්න චින්තක අමල්, ගෙවිඳු කුමාරතුංග, කුලසිංහම් තිලීපන්, රාජිකා වික්‍රමසිංහ සහ ඉසුරු දොඩංගොඩ මෙම ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සෙසු පිරිසයි.