hit counter

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 22, ප.ව. 3:50



රාජ්‍ය නායකයා රටින් පලා ගියහම අනුගාමිකයෝ වශයෙන් තමන්ට වෙන්නේ මොකක්ද කියා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිතුවාද යන්න ප්‍රශ්නයක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් වන ජනක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු අද (22) පාර්ලිම්න්තුවේ දී මේ බව පැවසුවා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“මමත් විශ්වාස කළා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අන්තිම අවුරුද්දෙවත් මේ රට හදයි කියලා. එතුමාව විශ්වාස කරලා ඡන්දය දුන්න හට නම ලක්ෂයක් ජනතාව අතර මගේ ඡන්දයත් තිබ්බා. අපිත් අවුරුදු දෙකක් ගෝඨාභය ජනාධිපතිවරයාව කරේ තියා ගෙන ගියා. අවුරුදු දෙකක් අපිත් එතුමා ගත්ත හැම පියවරක්ම පසුපෙළ මන්ත්‍රීවරු විදිහට ආරක්ෂා කළා.

අපි හිතුවා වසර පහකට බලය ගත්ත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අන්තිම අවුරුද්දෙවත් මේ අභියෝගය ජය ගනියි කියලා. නමුත් මොකද වුණේ. අන්තිමට රටේ ආර්ථික, සමාජීය, දේශපාලනික පසුබෑමක් වෙනකොට පැදුරටත් හොරා පන යන ජනාධිපතිවරයෙක් බවට පත්වුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා.

මමත් ඉන්නේ මේ ආණ්ඩුවේ තමයි. හැබැයි වැරදි දේට වැරදියි කියනවා. රාජ්‍ය නායකයා රටින් පලාගියහම අනුගාමිකයෝ වශයෙන් අපිට වෙන්නේ මොකක්ද කියලා එතුමා හිතුවද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා පුද්ගල අනුබද්ධ දේශපාලනයක් තවත් මේ රටේ ඇතිවෙයි කියන විශ්වාසයක් අපිට නැහැ.”