hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 11, පෙ.ව. 12:06



මේ දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ රට ගොඩ ගන්න සියලු‍ දෙනාටම එක්වෙන්න කියලයි. සුනාමියකින්, ගංවතුරකින්, කුණාටුවකින් ස්වභාවික ව්‍යසනයකින් මේ රට විනාශ වුණා නම් සැවොම එක් වී රට ගොඩ ගැනීම යුතුකමක්, වගකීමක් වෙනවා. වසර 75ක කාලයක් තට්ටු මාරුවට මේරට පාලනය කළ දූෂිත දේශපාලකයන් කළ සොරකම්, දූෂණ වංචා කොමිස් ගැහීම් නිසා මේ රට බංකොලොත් වුණා. මේ විනාශයට මේ රටේ දූෂිත ප්‍රධාන පක්ෂ දෙකම වගකිවයුතු යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

ඒ මහතා එසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ කරන්දෙනිය ආසන බලමණ්ඩලය පිහිටුවීම වෙනුවෙන් කුරුදුගහහැතක්ම ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවේදීයි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද සඳහන් කළා.

“ලංකා ඉතිහාසයේ පලමු වතාවට 69 ලක්ෂයක ඡන්ද බලයක් ලබාගත් ජනාධිපති අගමැති ඇතුලු‍ කැබිනට්ටුව මීට වසරකට පෙර ජනතා බලයෙන් පලවා හැරියා. එදා මේ රටේ ජනතාව පාරට බැස්සේ සැමට නීතිය සාධාරණය ඇති රටක් ඉල්ලලයි. මේ රට දූෂණයෙන් විනාශ කළ අය රටින් පැනල යනවට ගුවන් තොටුපොල පවා හරස් කළා. එසේ කළේ මහජන දේපල සොරකම් කළ අය පැන යෑම වලක්වා නීතිය හමුවට ඉදිරිපත් කරන්නටයි.

පසුගියදා ඇස් බෙහෙත් භාවිත කළ රැසකගේ ඇස් පෙනීම දුරවල වෙලා. නිර්වින්දන බාල බෙහෙත් භාවිත කළ කුඩා දරුවෙක් මියගියා. ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ තරුණ මවක් මිය ගියා. සෞඛ්‍ය ඇමැති කෙහෙලිය කියන්නෙ ඒ අය වෙනුවෙන් වන්දි ගෙවනව කියලයි. වෙනත් රටක මේ වගේ සිදුවීමක් වුනොත් ඇමැති අයින් වෙනවා.දකුනේ අපරාද රැල්ල දිගෙන් දිගටම ඉහළ යනවා. දිනෙන් දිනම පාතාල ක්‍රියාකාරකම් වැඩිවෙනවා. මේ හේතුවෙන් සාමකාමී ජනතාව බියට පත්වෙලා නීතියේ ආධිපත්‍ය දුර්වල නිසයි මේ තත්වය ඇතිවී තියෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙකේම පාතාලය රජකළා. සොත්ති උපාලි රනිල්ගේ කෘතධිකාරී මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයෙක්ව සිටියා. සංජීව කියන පාතාල සාමාජිකයා චන්ද්‍රිකාගේ පුද්ගලික ආරක්ෂකයෙක්. දකුණේ පාතාල නායකයන් වන වම්බොට්ටා කරලියට ගෙනාවේ මහින්ද රාජපක්ෂයි. නාමල් බබා පාතාලය පෝෂණය කරනවා. ප්‍රබල දේශපාලකයන් තමන්ගේ ත්‍රාඩ වැඩවලට පාතාල අපරාධකරුවන් යොදාගන්නවා.

රටපුරාම විවිධ බිහිසුනු මත්ද්‍රව්‍ය ජාලය ජයටම සිදුකරන්නෙ දේශපාලන අනුග්‍රහයෙන්. ලංකාවේ හෙරොයින් අයිස් වැනි මත් ද්‍රව්‍ය හදනවද? නෑ. දේශපාලන අනුග්‍රහය මත මුහුදෙන්, ගුවනින්, රට තුළට මත්ද්‍රව්‍ය ගේනවා. ඒවා අහු වුනාම ඔවුන් ආරක්ෂා කරනවා. පාතාලය, අපරාද, මත්ද්‍රව්‍ය ජාවාරම කරවටක් උසට වර්ධනය වෙලා. ජාතික ජන බලවේගයේ රජයකින් මත් උවදුර, පාතාලය, බිහිසුනු අපරාධකරුවන්, කුලී මිනීමරුවන් මුලු‍මනින්ම මර්දනය කරනවා. ජනතා මුදල් සොරකම් කළ දූෂිතයින්ට දඬුවම් දෙනවා පමනක් නොවෙයි ඔවුන් කොල්ලකෑ මහජන මුදල් නැවත ලබාගන්නවා. සැමට සමාන නීතියක් ක්‍රියාත්මක කරන නීති ගරුක සාමකාමී රටක් ගොඩනගනවා.”