hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 මැයි 30, ප.ව. 12:03



ජුනි 08 වැනිදා මැතිවරණය දිනා ගැනීමේ සටන දියත් කරනවා  යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසුවා.

ඒ බළපිටිය ආසන සමුළුව අමතමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“මාර්තු මාසයේ නව වැනිදා ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් රටේ විශාල දේශපාලන උණුසුමක් තිබුණා. අපේ රටේ සාතිශය බහුතර ජනතාවක් ගෙන තිබුණු තීරණය, අපේ රට මෙතෙක් පැමිණි විනාශකාරී ගමන හැරවීමේ ඡන්දයක් බවට පත් කර ගන්නයි. මේ රට විනාශයට පත් කළ පාලක කණ්ඩායම් පලවාහැරීමේ සන්ධිස්ථානයක් බවට මාර්තු නවය මැතිවරණය පත්කර ගන්න සූදානමින් හිටියා. ඒ ගොල්ලන්ගේ අතින් බලය තම තමන් අතර මාරු කර ගන්න රනිල්ලා, රාජපක්‍ෂලා, සජිත්ලා අවසානය දක්වා උත්සාහ කරනවා.

ඒ අයගෙන් පොදුජන ව්‍යාපාරයක් අතට බලය මාරු වෙන්න එහෙම ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. බලය මාරු කර ගන්නවා විතරක් නොවෙයි, පාර්ලිමේන්තුවට එන්න බැරි වුණු රනිල් වික්‍රමසිංහ නැවත ගෙන්වාගෙන ජනාධිපතිකමත් ලබා දෙනවා. රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂලාගේ කඳවුරේ ජනාධිපති වෙයි කියලා කවුරුහරි හිතුවාද? ඒ ගොල්ලන්ගේ බලය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් ජනතාව නොසිතන දේවල් කරනවා. ඔවුන්ගේ අපරාධවලට එරෙහිව ඉන්න පොදු ජනතාවගේ පැත්තේ ඉන්න මාලිමාව අතට බලය එන එක වළක්වන්න ඒ ගොල්ලෝ එකතු වෙනවා. තවම එකතු නොවුණු පිරිසකුත් ඉන්නවා. ඔවුන් එකතු වන්නේ මේ රටේ පොදු ජනතාවට විරුද්ධව.

ජුනි මාසයේ නව වැනිදාට මැතිවරණය නොපවත්වා මාස තුනක් සම්පූර්ණ වෙනවා. ඡන්දය ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය ජුනි මාසයේ අට වැනිදා යළි අරගලය දියත් කරනවා. තරග වදින අපේක්‍ෂක, අපේක්‍ෂිකාවන් ජුනි මාසයේ අට වැනිදා මැතිවරණ කොමිසම ඉදිරියට යනවා. ඊට පස්සේ හම්බන්තොට, අනුරාධපුරයේ, ගම්පහ උද්ඝෝෂණ පවත්වා. අන්තිමට කොළඹ වට කරන මහා ජන සටනට අපි ලෑස්තියි. රටකටත්, ඒ රටේ ජීවත්වන ජනතාවටත් සිදුවිය හැකි සියලුම විනාශයන් මේ පාලකයන් අත්පත් කරදී ඉවරයි. පසුගියදා නිකුත් වුණු මහ බැංකු වාර්තාවේ සඳහන්

වෙන්නේ ජනගහනයෙන් සියයට හැටඅටක් ආහාර ප්‍රමාණය අඩු කරල වේල් ප්‍රමාණය අඩු කර හෝ රුචි නොවන ආහාර ලබාගෙන නිරාහාරව ඉන්න සිදුවී ඇති බවයි. රෝගී ජනගහනයෙන් සියයට හතළිහක් ඔෟෂධ ගැනීම නතර කර ඇති බවත්, තවත් සියයට හතළිහක් අධ්‍යාපන වියදම් කපාහැර ඇති බවත් ඒ වාර්තාවේ සඳහන් වෙනවා. සියලු ආදායම් මාර්ග කඩාවැටී රෝගීන්ට බෙහෙත් නැති, දරුවන්ට අධ්‍යාපනය නැති, ජනතාවට ආහාර නැති තත්ත්වයක් මේ පාලකයන් උදා කරදී තිබෙනවා. විධිමත්ව රැකියා කරමින් සිටි ලක්‍ෂ පහකට වැඩි පිරිසකට රැකියා අහිමි වෙලා. අවිධිමත් පෞද්ගලික අංශයේ රැකියා අහිමි වූ ප්‍රමාණය ගණන් බලන්නත් බැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවරුන් ඇතුළු වෘත්තිකයන්, රටේ දැනුම තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කර රට අත්හැර යනවා. තවත් කණ්ඩායමක් රට අත්හැර කුමන හෝ රැකියාවක් සඳහා විදේශගත වෙනවා. නුපුහුණු කම්කරුවන් එක්ලක්‍ෂ හාරදහසක් ගිය අවුරුද්දේ විදේශගත වී තිබෙනවා.

වැදු මවට සේ දිනූ බිමට ගෞරව කරන්න, ආරක්‍ෂා කරන්න කියලා පොඩි කාලේ අපි ඉගෙන ගත්තා. නමුත් අද මේ රටේ බහුතරයක් කල්පනා කරන්නේ රට අත්හැර යන්න. ජාතික ජන බලවේගය අරගල කරන්නේ මේ රට මිනිසුන්ට ජීවත් විය හැකි රටක් බවට පරිවර්තනය කරන්නයි. සමාජයීය වශයෙන් විශාල ඛේදවාචකයකට ඇදදමා තිබෙන ජනතාව එකිනෙකා කෙරෙහි ළෙන්ගතුකමෙන් වඩා යහපත් ලෙස බැලිය හැකි සමාජයක් බවට පත් කිරීමේ වගකීම අපි භාර ගන්නවා. මේ රට ගොඩනැඟීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගත හැකි වන්නේ ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීමෙන් පමණයි. ජාතික ජන බලවේගය මේ ක්‍රියා කරමින් ඉන්නේ රට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ජනතා බලය නිර්මාණය කර ගන්නයි.

අනුහස් සහිත නායිකාවක් හැටියට චන්ද්‍රිකා ආවා. ඊට පස්සේ මහින්ද රාජපක්‍ෂ ගෙනාවා. දැන් පොහොට්ටුවේ නායකයා කවුද? පොහොට්ටුවට මහින්ද කියන්නේ තවදුරටත් නායකයෙක් නොවෙයි. පසුගිය මැයි දිනයේදී බැසිල් රාජපක්‍ෂ නායකයා වෙන්න ආවා. දැන් පොහොට්ටුව කියන්නේ පොල් මලක් පොළොවේ ගැහුවා වාගේ විසිරී ගිය පිරිසක්. රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ගේ ජනාධිපති හැටියට හැම දේම විකුණාගෙන යනවා. තෙල් සංස්ථාවට අයත් පෙට්රල් ෂෙඩ්  එකසිය පනහක් විසිපස් වැනිදා චීන සමාගමකට වික්කා. ලංකාවේ ඩොලර් නොගෙන අවුරුද්දක් යනතුරු තෙල් ගෙනැවිත් බෙදාහැරීමේ කොන්දේසිය මත පමණයි මේ පෙට්රල් ෂෙඩ්  ටික විකුණුවේ. කිසිදු මුදලක් ලැබුණේ නැහැ. අවුරුද්දක් යන්න කලින් ජනාධිපතිවරණය තියන්න සැලැසුම් කර තිබෙනවා. හම්බන්තොට වරාය විකුණනකොට පාරට ඇවිත් කෑගැහැව්ව රාජපක්‍ෂලාත්, පොහොට්ටුවට ඡන්දය දුන් ඡන්දදායකයාත් දැන් මොකද කියන්නේ?

විදුලි බලාගාර විතරක් නොවෙයි, ජලාශ ටිකත් විකුණන්න දැන් සූදානම් වෙනවා. මේ නිසා වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, ඉහළ කොත්මලේ, සමනල වැව වාගේ ජලාශ හැම එකක්මත් විකුණනවා. දැන් අගෝස්තු මාසයේදී ‘ටැටූ’ කියලා හමුදා සන්දර්ශනයකුත් තියන්න යනවා. රනිල් ඒ හමුදා සන්දර්ශනයේ ගුවන් කරණම් ගහන්න යනකොට රටේ ජනතාවට කන්න නැහැ. දේශීය ණය ආසන්න වශයෙන් මිලියන තුන්දහස් හාරසිය පනස්නවයක් සේවක අර්ථසාධක අරමුදලෙන් ආණ්ඩුවට ලබාදී තිබෙනවා. මේ ණය කපාහරින්න දැන් සැලැසුම් කරනවා. ඒ කියන්නේ, සේවක අර්ථසාධක අරමුදලේ ගිණුම් පවත්වාගෙන යන හැම කෙනාගේම ගිණුම්වලින් සල්ලි කැපෙනවා. ලංකා බැංකුවල, මහජන බැංකුවල, ජාතික ඉතිරිකිරීමේ බැංකුව වාගේ බැංකුවල මහජනතාව තැන්පත් කර තිබෙන සල්ලිවලින් ආණ්ඩුවට දී තිබෙන ණය කපාහරින්න යනවා.

ලබන අවුරුදදේ අගෝස්තු මාසයේ ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවන්න ඕනෑ. ඊට කලින් පළාත් පාලන, පළාත් සභා ඡන්ද ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනෑ. තනි තනියෙන් පොරබදලා මේ රට ගොඩ ගන්න බැහැ. සාමූහිකත්වයෙන් වැඩ කරන්න ඕනෑ. ව්‍යාපාරිකයන්, ඉන්ජිනේරුවන්, ධීවරයන්, ගොවීන්, කම්කරුවන් අපි හැම දෙනාම සාමූහිකව එකතු වී අවුරුදු තුන හතරක් පොරබදලා, මේ රට ගොඩ ගන්න ඕනෑ. නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වන තත්ත්වයක් ගොඩනඟන්න ඕනෑ. රත්තරන් හොරෙන් ගේන මන්ත්‍රි දඩ ගහලා පාර්ලිමේන්තු එනකොට පොල්ගෙඩි විස්සක් හොරකම් කළ කෙනා හිරේට යවන වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වන නීතියක් දැන් තියෙන්නේ. බැසිල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වාගේ අය එළියට එන්නේ අධිකරණයෙන් නිදහස් වෙලා නොවෙයි. නඩුව ගොනු කර තිබුණු ආකාරය වැරැදි නිසයි.  මේ ගොල්ලෝ නඩුවලින් බේරුණා නොවෙයි, නීතිය නවලා, නඩුවලින් රිංගුවා.

අපේ රටේ සම්පත් විහිදී ඇති ආකාරය අනුව ජාතික සංවර්ධන සැලැස්ම බිම් මට්ටම දක්වා ගෙන යනවා. දියුණු මානව සම්පත , අධ්‍යාපනය, සෞඛ්‍යය, ක්‍රීඩාව හරහා නවීන ලෝකයට ගැළපෙන ලෙස ඉදිරියට ගන්නවා. පාලකයා, රාජ්‍ය සේවකයා, වෘත්තීයවේදියා, ජනමාධ්‍යවේදියා, කලාකරුවා, මහජනතාව යන අපි හැමෝම එකට පොරබදා මේ රට ගොඩනඟමු. අපේ රට දුප්පත් වුණාට පාලකයා පොහොසත් වුණා. මේ තත්ත්වය වෙනස් කර රට ගොඩනඟන්න එක්වෙමු. අපි පාලකයාට මාර්තු නවයේ ඉඳලා ජුනි නවය දක්වා මාස තුනක කාලයක් මැතිවරණය වෙනුවෙන් ලබාදී තිබෙනවා. ජුනි අට වැනිදා ඉඳලා මේ පාලකයන් පලවාහැරීමත්, ඡන්දය දිනාගැනීමත් වෙනුවෙන් සටන අපි දියත් කරනවා. මේ විනාශකාරී, දුෂ්ට පාලකයන්ට තවදුරටත් මේ රට හපයක් බවට පත් කරන්න දෙන්න බැහැ. ගෙයක් ගාණේ ගිහින් අපි සංවිධානය වෙමු. මේ ව්‍යසනයෙන් රට ගලවා ගන්න, මැතිවරණ දිනාගන්න අපි ලැහැස්තියි. අපි හැම දෙනාම එක්වී මේ කාලය තුළ මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් රොද බඳිමු කියලා ආරාධනා කරනවා.”