hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 26, ප.ව. 1:10



සිය බිරිඳට තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සැලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලට ගෙන දී ඇති බවට වෙබ් අඩවියක් 2021 වසරේදී පළ කළ පුවත අමූලික අසත්‍යයක් බවත් එමගින් තමන්ට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව කැඳවුණු අවස්ථාවේ එකී වෙබ් අඩවිය විවෘත අධිකරණයේ දී පැමිණිලිකරැගෙන් සමාව භජනය කිරීමත් සමග අවසන් වුණා.

එකී පුවතට පාදක කර ගත්තේ මාධ්‍ය සාකච්ඡාවල දී කියවුනු තොරතුරු සහ නිරන්තරයෙන් ප්‍රවෘත්ති සපයන මූලාශ්‍ර වෙතින් ලැබුණු තොරතුරු කිහිපයක් වුවත් පසුව වැඩිදුර සොයා බැලීමේදී එම තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව තහවුරු වූ බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

එම පුවත පළ කරන ලද්දේ හුදෙක් ප්‍රවෘත්තියක් වශයෙන් මිස මහාචාර්ය චන්න ජයසුමන මහතාට හෝ ඒ මහතාගේ බිරිඳට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් ඇතිව නොවන බව ද ප්‍රකාශ වුණා.

අදාල ප්‍රවෘත්තියෙන් පසු එහි කියැවුණු මෝටර් රථ අලෙවි සමාගම පැවසුවේ තමන්ට තලවතුගොඩ ප්‍රදේශයේ කිසිදු වාහන අලෙවිසලක් නොමැති බවත් තම ආයතනයෙන් චන්න ජයසුමන මහතා හෝ ඔහුගේ බිරිඳ කිසිදිනක මෝටර් රථයක් මිලදී ගෙන හෝ පැමිණවත් නොමැති බවයි.

නඩුව නුගේගොඩ දිසා විනිසුරු කලහාරි කේ. ලියනගේ මහත්මිය ඉදිරියේ දී කැඳවුණු අතර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමකුත් විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අයි.ආර්.පී. ද සිල්වා මහතා ද පෙනී සිටියා.