2023 මාර්තු 11, ප.ව. 1:40
පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඒ බව අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් ව්‍යවස්ථාදායකය නොමඟ යවන ලදැයි කියමින් ඊට අදාළව අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ හැකියාව ගැන සමගි ජන බලවේගයේ ජේයෂ්ඨ දේශපාලකයන් අතර සාකච්ඡාවක් සිදුවී තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට එවැනි උපදෙසක් දීම මඟින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට හිතාමතාම බාධා කර, එමඟින් ජනතා ඡන්ද අයිතිය උදුරාගැනීමට තැත් කළැයි යන චෝදනාව යටතේ මෙසේ විශ්වාසභංගයක් ගෙන ඒමට යෝජනා වී ඇතැයි සමගි ජන බලවේගයේ ජේයෂ්ඨතම දේශපාලකයෙක් පුවත්පතකට පවසා තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම සමඟ සාකච්ඡාවක් කර ඉදිරි කටයුතු සැලසුම් කරන බවත් කඩිනමින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී සටන් කරන බවත් හෙතෙම සඳහන් කර ඇති බව වාර්තා වෙනවා.
පක්ෂය මේ පිළිබඳව සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බවත් අගමැතිවරයාගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගතයුතු සියලු නෛතික පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසුවා.
අවස්ථා කිහිපයකදී අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී මේ සඳහා කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබානොදුන් බව පැවසූ නමුත් එම කැබිනට් පත්‍රිකාව මාධ්‍ය විසින් මේ වනවිටත් අනාවරණය කරනු ලැබ ඇතැයිද මුලින් කී බොරුව නිසා රජයේ ජේයෂ්ඨයන් දැන් මුනිවත රකිමින් සිටින්නේ යැයිද මහලේකම්වරයා චෝදනා කළා.
ආන්දෝලනයට තුඩුදුන් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ එකී චක්‍රලේඛයට පදනම් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පසුගිය බ්‍රහස්පතින්දා (09) විපක්ෂ නායකවරයා විසින් හැන්සාඩ් ගතකරනු ලැබීමට පියවර ගත්තේ විධිමත්ව විරෝධය දැක්වීමේ පළමු පියවර වශයෙන් යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම අත්හිටුවමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා චක්‍රලේඛයක් නිකුත් කර පැය කිහිපයක් ඇතුළත ඉවත් කරගනු ලැබුවේ පසුගිය ජනවාරි 10 වැනිදායි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36