hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 18, ප.ව. 12:08



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පන්ති සගයා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද පඹයෙක් බවට පත්වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පවසනවා.

පළාත් පාලන ඡන්දය සම්බන්ධව මැතිවරණ කොමිසම අගමැතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්වීමෙන් ඒ බව පැහැදිලි බව හෙතෙම කියා සිටියා.

මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවේදීයි.

එහිදී නලින් බණ්ඩාර මහතා මෙසේද පැවැසුවා.

අද ආණ්ඩුව ගමන් කරමින් යන්නේ ඒකාධිපති ගමනක. ඒකට හොඳම උදාහරණය ප්‍රතිත්‍රස්ත පනත. එම පනත ගේන්න කලින් ගේන්න ඕන දෙයක් තියෙනවා. මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට නම්‍යශීලීයි. එහෙනම් දූෂණ විරෝධී පනත තමයි මුලින් ගේන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කියනවා දූෂණ විරෝධී පනතක් අවශ්‍යයි කියලා. ඒ වගේම අපිත් විපක්ෂය විධියට දූෂණ විරෝධී පනතක් අවශ්‍යයි එය අතීතයටත් බලපාන පරිදි විය යුතුයි. මොකද මෙතැනින් එහාට දූෂණ නවත්තලා විතරක් රට ගොඩගන්න බැහැ. පසුගිය කාලයේ කෝටි ගණන් රාජ්‍ය දේපළ හොරකම් කරපු අස්ථානගත කරපු අය තවමත් ඉහළින් ගිහින් වැජඹෙනවා.

ඒ අයට දඬුවම් නොදී ඒ අයගේ මුදල් නැවත අත්පත් කර නොගත්තොත් අපේ රටට කවදාවත් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා දූෂණ විරෝධී පනත තමයි අංක එකේ පනත බවට පත් වෙන්න ඕන. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කියල තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරයා ඇතුළු රජයට අපි දැඩිව ප්‍රකාශ කරනවා වහාම දූෂණ විරෝධී පනත ගෙනැල්ලා අතීතයට බලපාන ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතිමය වැඩපිළිවෙළක් සකස් කරලා වර්තමානය අනාගතය පමණක් නෙමෙයි අතීතයේ සිදුවුණු දේවල් සොයා බලන්නත් අනාගතයේදී දූෂණ විරෝධී කටයුතු නොකරන්නත් අවශ්‍ය විධියට මේ නීතිරීති සකස් කරන්න කියන එකයි අපි ඉල්ලන්නේ.

ඒ වගේම අපි දන්නවා උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් නතර වෙලා තියෙනවා. එය බරපතළ සමාජ කාරණයක්. මේක මධ්‍යස්ථව බලන්න ඕන. එක පැත්තකින් රජයට ඇඟිල්ල දික් කරනවා. රජය මේ ප්‍රශ්නය විසඳීම සඳහා බොහොම අලස ක්‍රියාමාර්ග ගන්නේ. අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ඔවුන්ට තියෙන්නේ බොහොම උදාසීන ගතියක්. ඒ වගේම අපි රජයට විතරක් නෙමේ ගෞරවනීය ගුරුවරුන්ගෙන්, විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවලින් ඉල්ලා සිටිනවා ඔබතුමාලගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මේ කාරණය පාවිච්චි කරන්න එපා.

 මේ රටේ ගොවීන්ගේ ප්‍රශ්නවලට තාමත් උත්තර ලැබිලා නැහැ. වීවලට සාධාරණ මිලක් ලැබෙන්න ඕන. ඒ වගේම ඉදිරියේදී එළවළු ඇතුළු බව බෝගවලට අවශ්‍ය දිලීර නාශක, වල් නාශක, කෘමිනාශක වෙළෙඳපොළේ මිල ඉතාම අධිකයි. ඒවා සාධාරණ මිලකට මිලදී ගන්න පුළුවන් ආකාරයට යූරියා පොහොර වර්ග ලබාදීමට අවශ්‍ය වටපිටාව රජය නිර්මාණය කිරීම ඉතා වැදගත්.

පොට්ටුවට දැන් රනිල් වික්‍රමසිංහ තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා කියන තැනට වැටිලා. මේ රට බංකොලොත් භාවයට ඇද දාන්න වැඩිම කාර්යභාරයක් ඉෂ්ට කරපු කට්ටිය තමයි මේ විදිහට බෙදිලා ඉන්නේ. අපි බලනවා මේ ගොල්ල මොනවාද කරන්නේ කියලා. අද එක්සත් ජාතික පක්ෂයට ඡන්ද පදනමක් නැහැ. ඡන්ද පදනම තියෙන්නේ සමගි ජන බලවේගයට. ඒ නිසා අපි එළැඹෙන ඕනෑම මැතිවරණයකට සූදානම්. අපි අතර බෙදීමක් නැහැ. හෙටට ගැළපෙන ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායම වගේම ඒ ආර්ථික වැඩපිළිවෙළ අපි ගාව තියෙනවා. මම විශ්වාස කරනවා මේ රටේ බුද්ධිමත් ජනතාව එය තේරුම් අරගෙන අපි වටා ඒකරාශි වෙයි කියලා.