hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 22, ප.ව. 12:11



හබරාදුව ප්‍රාදේශිය සභාවේ ඊයේ (21) පැවති මාසික රැස්විමේදී  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චමිල ප්‍රියංග මහතා විසින් ඔහුගේ මේසය මත සවිකොට තිබූ මයික්‍රෆෝනය ගලවාගෙන ගොස් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි තක්ෂිත රවිෂාන් ගමගේ මහතාට පහරදීමෙන් ඔහු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට තිබෙනවා.

පහරදුන් බව කියන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි චමිල ප්‍රියංග මහතාද අහංගම ගෙන්නගහහේන රෝහලට ඇතුලත්ව තිබෙනවා.

හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්විම වැඩබලන සභාපති බන්දුපාල අබේකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර  ජනතා මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයකු සම්බන්දයෙන් ඇති වු මතගැටුමක් දුර දිග යාමෙන් මෙම පහරදිම වී තිබෙනවා.

පහරකෑමට ලක්වූ මන්ත්‍රිවරයාගේ හිසට හා කණට තුවාල වි ඇති අතර ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවට  ඇතුලත්කොට තිබෙනවා.

පහරකෑමට ලක්වු මන්ත්‍රිවරයා රෝහලට රැගෙනවිත් ඇත්තේ හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉප්පලවත්ත මහතා වන අතර ඔහු මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා.

“සභාවේ චමිල මන්ත්‍රි සහ හර්ෂ මන්ත්‍රිවරයා අතර සභාවේ වාදයක් පැවතුනා. චමිල මන්ත්‍රිවරයාට මේක ඉවසන්න බැරිව එහා පැත්තට පැනලා මයික් එකේ ගාඩ් එකෙන් පහරදුන්නා. හර්ෂ මන්ත්‍රිවරයාගේ කණෙන් ලේ ආවා.මගේ වාහනයෙන් හර්ෂ මන්ත්‍රිවරයා කරාපිටිය රෝහලට රැගෙන ආවා.”

මෙම පහරදීම දැඩි ලෙස හෙලා දකින බවත් පරාජයෙන් වියරුවැටි සිටින පොහෝට්ටුවේ මන්ත්‍රිවරු මෙවැනි දේ සිදුකරන බව ජ.වි.පෙ  හිටපු පළාත් සභා මන්ත්‍රි රත්න ගමගේ මහතා සදහන් කළා.

මේ සම්බන්ධව විමසිමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි චමිල ප්‍රියංග මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු රෝහල්ගතව සිටින බවත් දුරකථනයට පිළිතුරු දුන් පුද්ගලයා සදහන් කර සිටියා.