hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 23, පෙ.ව. 11:01



මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම ජනවාරි 9ට පෙර පළාත්පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතු බවත් මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීමට දක්වන උනන්දුවම ආණ්ඩුව මැතිවරණය නොපැවැත්වීමට දක්වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඊට හේතු තුනක් බලපා තිබෙන බවයි ගම්මන්පිල මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (22) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වුවා.

“ආණ්ඩුව වැඩි කරපු සෘජු සහ වක්‍ර බදු ක්‍රියාත්මක වෙන්නේ ජනවාරි 1 දා ඉඳන්. බද්දක් මිල වැඩි වීමක් ඇඟට දැනෙන්නේ ඒක වැඩි කරපු කාලයේ. ඊට පස්සේ ඒකට හුරු වෙනවා. ඒ නිසා බද්ද වැඩි කරපු අළුත ජනතාව කෝපයෙන් සිටින අවස්ථාවක ඡන්දයක් පැවැත්වීම ආණ්ඩුවට මාරාන්තිකයි.

දෙවැනි කාරණය වන්නේ විදුලි කප්පාදුව. මාර්තු මාසය වන විට පැය 8 ඉක්මවා විදුලිය කැපීමට සිදුවන බවට මුලින්ම කිව්වේ අපි.  ජනතාව කළුවරේ පොතකින් පවන් සලමින් ඉන්න අතරේ ආණ්ඩුවට ඡන්දය දෙන්න කියා අපේක්ෂකයෙකු ගෙදරට ගොඩ වුණොත් ඡන්දය වෙනුවට මෝල් ගස් පහරක් වුණත් ලැබෙන්න ඉඩ තිබෙනවා.

තුන්වන කාරණය තමයි අයිඑම්එෆ් ණය පහසුකම ලැබෙන්නේ මාර්තු වලින් එපිට වීම. අයිඑම්එෆ් ණය පහසුකම ලැබෙන්නේ මාර්තු වලින් පස්සේ කියලා මුලින්ම කිව්වේ අපි. ණය ප්‍රතිව්‍යුහකරණය කළ වහාම අයිඑම්එෆ් ණය වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක් සහ බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියන දෙකක් රැස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සල්ලි වලින් තමයි ඉන්ධන ඖෂධ ගෙනැල්ලා ඒවායේ හිඟය නැති කරන්න බලාපොරොත්තු වුණේ. ඒ සල්ලි වලින් තමයි රුපියල ස්ථායි කරලා බඩු මිල අඩු කරන්න බලාපොරොත්තු වුණේ. එහෙම කරලා වීරයන් වගේ මැතිවරණට යන්නයි ඔවුන් බලාපොරොත්තු වුණේ. මේ කිසිවක් කරගන්න බැරුව, විදුලි කප්පාදුවක් මැද ඖෂධ හිඟය මැද, ඉහළ යන බඩු මිල මැද, වැඩි වන  බදු බර මත මැතිවරණයකට මුහුණ දීමට සිදුවුවහොත් එය ආණ්ඩුවට මාරාන්තික බව ආණ්ඩුව දන්නවා. නමුත් ආණ්ඩුව මොන තරම් උත්සාහ දැරුවත් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට ආණ්ඩුවට අප ඉඩ තබන්නේ නෑ කියන පොරොන්දුව අප ජනතාවට ලබා දෙනවා.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: