hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 28, පෙ.ව. 4:08



බගවන්තලාව නගරයේදී තරුණයෙකු අත්අඩංගුවට ගන්නා මුවාවෙන් එම තරුණයාට පොලිසිය පහරදීමේ සිද්ධිය තරයේ හෙළාදකින බවත් ඒ පිළිබඳව එම පොලිස් නිලධාරීන්ට එරෙහිව ස්වාධීන පරීක්‍ෂණයක් සිදු කළ යුතු බව ජල සම්පාදන සහ වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවා.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා බගවන්තලාව නගරයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා ඒ බව කියා සිටියා.

බගවන්තලාව ප්‍රදේශයේ රජයේ බැංකුවකට ගිය තරුණ ගනුදෙනුකරුවකු සහ බැංකු කළමනාකාරවරයා අතර ඇතිවූ බහින්බස්වීමක් සම්බන්ධයෙන් එම කළමනාකරු පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් එම තරුණයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහුට පොලිසිය පහරදී ඇති බවත් තොණ්ඩමන් මහතා පැවසුවා.

නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම පොලිසියේ වගකීම බවද, එසේ වුවද නීතිය අතට ගැනීමට කිසිවෙකුටවත් නොහැකි බව ද මෙම සිදුවීමේදී පොලිසිය අත්තනෝමතිකව කටයුතු කර ඇති බවට ජනතාවගෙන් විවේචන එල්ල වන බව ද තොණ්ඩමන් මහතා සඳහන් කළා.

එම නිසා මෙම තරුණයා අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳව සොයා බලා පොලිසිය වරදක් සිදුකොට තිබේ දැයි ස්වාධීන පරීක්‍ෂණයක් සිදුකොට අගතියට පත් තරුණයාට සාධාරණයක් ඉටුවිය යුතු බව ද අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් පැවසුවා.