hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2023 ජූනි 26, ප.ව. 12:45



කෘෂිකර්ම ඇමැතිවරයා මාධ්‍ය හරහා ගොවීන්ට පොහොර වවුචර්පත් ලබාදීම සිදු කර ඇති බව පැවැසුවත් තමන්ට මෙතෙක් පොහොර වවුචර්පත් ලැබී නැතැයිද ගියවර දෙන බව කී මුදල්ද මේ දක්වා ගොවීන් පිරිසකට ලැබී නැතැයිද මොනරාගල දිස්ත්‍රික් ගොවිබල මණ්ඩලයේ ලේකම් සහ කිරිඉබ්බන්වැව කොට්ඨාස කමිටුවේ සභාපති ප්‍රේමලාල් කුමාරසිරි මහතා පැවැසුවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“ඇමැතිවරයා මාධ්‍ය උපයෝගී කර ගෙන ගොවීන් මුළා කිරීමට කටයුතු කරනවා. සෙවණගල ප්‍රදේශයේ ගොවීන්ට ගියවර දෙනවයි කිව්ව මුදලවත් තාම නොලැබුණු ගොවීන් විශාල පිරිසක් ඉන්නවා. මෙවරත් මේ වනවිට ගොවීන් කුඹුරුවලට පොහොර ගහලා දින වකවානු අවසන් වෙලා. ඒත් දෙනවයි කිව් වවුචර්පත් අපට ලැබුණේ නැහැ. කාෂිකර්ම ඇමැති හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණක් මේ කියන ඒව දෙනවද දන්නේ නැහැ. මොනරාගල දිස්ත්‍රික්කයේ අපිට හැමදාම සැලකුවේ මෙහෙම තමා. මොනරාගල වතුර ටික තමා හම්බන්තොට දිස්ත්‍රික්කයට ගෙනියන්නේ. ඇමැතිට ඒවා මතක නැත්නම් අපිට මතක් කර දෙන්න වෙනවා.”

මේ පිළිබඳව සෙවණගල ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරි චාමලි විදානපතිරණ මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ, මේ වනවිට වවුචර්පත් ලියමින් තිබෙන්නේ. ඉදිරි සතියේදී ගොවීන්ට ඒවා ලබා දෙන්න කටයුතු කරනවා. ගියවර මුදල් ගොවීන්ට මේ දක්වා නොලැබීම ගැන මා දන්නේ නැහැ. අපි සියලු ගොවීන්ගේ නාම ලේඛන ඒ සඳහා අදාළ අංශ වෙත යොමු කළා. යම් ප්‍රමාද වීමක් ඇති බව පිළිගන්නවා යනුවෙනුයි.