hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2023 ජූනි 22, ප.ව. 5:20



මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් දේශපාලනයේ නියැලීම අවශ්‍ය නොවන බවත් රාජපක්ෂ මහතා දැන් එතුමා විශ්‍රාම සුවයෙන් සිටිය යුතු කාලය එළැඹ ඇති බවත් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසුවා.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමේ සූදානමක් තිබේ දැයි මාධ්‍යවේදීන් අද (22) ඇමැතිවරයාගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඒ මහතා ඉහත අදහස් පළ කළා.

මේ රටට මහින්ද රාජපක්ෂ මහතා තරම් සේවයක් කළ වෙනත් නායකයෙකු නොමැති බවත් තවමත් මේ රටේ ජනප්‍රියම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ බවද රාජපක්ෂ මහතා දැන් විශ්‍රාම ගත යුතු බවද ඒ මහතා සඳහන් කළා.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කිසිදු මතබේදයක් නොමැති බවත් රටේ ජනතාවගේ යහපත පිණිස අවශ්‍ය නම්  එජාපය හා පොහොට්ටුව එක්ව ගමනක් යාමට සූදානම් බවත් හෙතෙම අවධාරණය කළා.

මැතිවරණයක් ලබා දෙන්නේ ජනතාවට අවශ්‍ය වෙලාවට මිස අරගලකරුවන්ට ඕන වෙලාවට නොවේ යැයිද ඒ මහතා කියා සිටියා.

බල කිරීම් මගින් මැතිවරණ දිනා ගැනීමට නොහැකි බව විපක්ෂය තේරුම් ගත යුතු යැයිද දේශපාලඥයෝ කීපදෙනෙකුට පමණක් අවශ්ය වුවද රටේ ජනතාවට මැතිවරණයක් අවශ්‍ය නොමැති බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවා.

ජනතාව ප්‍රතික්ෂේප කරන දිනක දේශපාලනයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවත් එසේ නොමැතිව අරගලකරුවන්ට බයේ දේශපාලනය අත් හැරීමට තමන් සූදානම් නැති බවත් රත්වත්තේ මහතා සඳහන් කළා.

අමාත්‍ය ධූර නොමැතිව පෙරමුණේ කීපදෙනෙක් කලකිරීමෙන් සිටින බවට පළවන පුවත් පිළිබඳ තමා කිසිවක් නොපවසන බවත් සුදුසු අය හට සුදුසු වේලාවේදී අමාත්‍ය ධූර ලැබේ යයි තමා සිතන බවත් සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කෙසේ වුවද මේ වන විට පොදු පෙරමුණේ දෙවන පෙළ කණ්ඩායමක් නැගී සිටිමින් ක්‍රියාත්මක වෙමින් සිටින බවයි.

මහනුවර – කමල් සුරවීර