hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 අප්‍රේල් 26, ප.ව. 3:56



හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධව තමන්ට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඊයේ (25) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදීයී.

ඔහු මෙම අදහස් පළකර සිටියේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තා රදගුරුවරයාට පිරිනැමීම පිළිබඳව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී, ඔහු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත්කරනු ලැබූ කොමිසන් සභාවේ කොමසාරිස්වරුන් විසින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත වෙනම ලබා දුන් වාර්තාවේ ඇති කරුණුද හෙළිකරන ලෙස පවසා සිටියා.

තවද, ඔහු පවසන්නේ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයාට තමාව බන්ධනාගාරගත ගතකොට එල්ලුම්ගස් යැවීමට බලවත් උවමනාවක් පවතින බවයි.

මෙලෙස නූල් බෝලයක් ලෙස අවුල් වී ඇති අවසන් නොවුනු පරීක්ෂණයක් නිසා තමන්ට චෝදනා එල්ලකරමින් කාදිනල්වරයා සිදු කරගන්නේ බරපතල පාපකර්මයක් බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසන්නේ.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තා මුලින්ම භාරදිය යුත්තේ කතෝලික සභාවට නොව පාර්ලිමේන්තුවට බව පවසන ඔහු මෙම චෝදනා තමන්ට කරන මඩ ගැසීමකට එහා ගිය මරණීය තර්ජනයන් ලෙස දකින බවද පවසා සිටියා.

මේ අයුරින් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා හට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන චෝදනාව වන්නේ, බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ත්‍රස්තවාදි ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන්, ඔහු ඇතුළුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය විසින් වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන තුන්සිය දහයක වන්දි මුදලක් පෞද්ගලිකව ගෙවන ලෙස ඔවුන්ට නියම කළා.

ඊට අමතරව රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස රජයට නියම කෙරුණා.

ඒ අනුව, රුපියල් මිලියන සියයක වන්දි මුදලක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අධිකරණයෙන් නියම වූ අතර ජනාධිපතිවරයා ලෙස මහජනතාවගේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති කටයුත්ත ඉටු කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසමත්ව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණයක්ද ගනු ලැබුවා.