hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 මැයි 04, ප.ව. 6:46



ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ආදිය සපයාගැනීම පවා දැඩි අවදානමකට ලක්වී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතවී වත්මන් රජය විසින් ගෙන යන වැඩපිළිවෙල නිසා සාර්ව ආර්ථික ස්ථාවරත්වය ක්‍රමයෙන් නැවතත් ස්ථාපනය වන බව පෙනෙන්නට තිබෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතවී වත්මන් රජය විසින් ගෙන යන වැඩපිළිවෙල නිසා සාර්ව ආර්ථික ස්ථාවරත්වය ක්‍රමයෙන් නැවතත් ස්ථාපනය වන බව පෙනෙන්නට තිබෙන බවත් එබැවින් මේ අසීරු අවස්ථාවේ ඔබ සියලු දෙනාගේ සහයෝගීතාව, සහෝදරත්වය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස තමා අපේක්ෂා කරන බවද සඳහන් කර සිටියා.

විශ්ව සාම සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන “ලෝක සාම සමුළුව -2023” සඳහා සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය නිසා දරුවෝ පාසල් නොයන බව වාර්තා වී ඇති බවත් ජනතාවගෙන් සියයට පනහක් පමණ උපයන මුදලින් 75%ක් ආහාර සඳහා වියදම් කරන බවද සිරිසේන මහතා සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

විශ්ව සාම සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන “ලෝක සාම සමුළුව -2023” සඳහා ආරාධනා ලැබීම පෞද්ගලිකව භාග්‍යයක් කොට සළකමි. 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් මා ලද මෙම ආරාධනය මා සලකන්නේ ශ්‍රී ලංකාවට විශ්ව සාම සම්මේලනය විසින් කළ ගෞරවයක් වශයෙනි. එසේම මාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ස්ථාපනයටත්, සංවර්ධනයට හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටත් මා විසින් ගත් වෙහෙස වෙනුවෙන් පිදෙන සම්මානයක් ලෙස ද දකිමි. වාර්ෂිකව පවත්වන මෙම ලෝක සාම සමුළුව විශ්ව සාම සම්මේලනයේ වැඩසටහන් අතරින් ලෝක නායකයන් හා සාමයට හා සංවර්ධනයට ලැදි සියලු ලෝ වාසීන් අතර වඩාත්ම කතාබහට ලක්වන වැඩසටහන බව මාගේ අදහසයි. එනිසාම 2023 වසරේ ලෝක සාම සම්මේලනයට පළමුකොට මම මාගේ සුභ පැතුම් එක් කරමි.

කලාපීය හා ගෝලීය දේශපාලනික, ආර්ථික, සාමාජීය මෙන්ම සංස්කෘතික සංවාදයන් හා නව ආරම්භයන් සඳහා ආසියාව කේන්ද්‍ර කරගත් නව ජගත් සංවිධානයක් ලෙස විශ්ව සාම සම්මේලනය ගොඩ නැගෙමින් පවතින බව මට හැඟීයයි. එය කාලීන අවශ්‍යතාවක් බව මාගේ ද විශ්වාශය යි.

ලෝකයේ බොහෝ අර්බුද, ගැටුම් හා සමාජ අසහනයක් දැකිය හැක්කේ ආර්ථික අතින් පසුගාමී කලාප හෝ රටවල් වලය. රටක් තුළ වුවද ආර්ථික දුෂ්කරතාවන්ගෙන් යුක්ත ජන ප්‍රජාවන් අතර ගැටුම් හා ආතතීන් අධිකය. එසේ හෙයින් හඳුනාගත් රටවල් වල හෝ ජන කණ්ඩායම් වල තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සාමය ස්ථාපනය කිරීමේ පහසුම ප්‍රවේශය බව මාගේ විශ්වාශය යි.

ලෝකය මිනිසාට, සතා සීපාවාට සුන්දර නිවහනක් වනු වෙනුවට එය භීෂණයෙන් පිරුණු, යුධ ගැටුම් වලින් පිරුණු, දුගී භාවයෙන් පිරුණු, සම්පත් බෙදීයාමේ විෂමතාවයෙන් පිරුනු අවලස්සන තැනක් වී ඇත. නොවැතී ඇවිලෙන යුධ තත්ත්වයන් සමනය වන බවක් නොපෙනේ. යුධ ගැටුම් යනු ආර්ථික අර්බුදයන්හි ආරම්භය යි. සාමය ආර්ථික සංවර්ධනයේ පදනමයි.

එකම භාෂාවක් කතා කරන, එකම සංස්කෘතික මූළයකින් පැවත එන කොරියානු දේශයද උතුරු හා දකුණු ලෙස බෙදී තිබේ. මා සිතන පරිදි, කොමියුනිස්ට්වාදයද, ජාතිකවාදයද, ඒකාධිපති රාජාන්ඩු ප්‍රවණතාද ලෝකය යහපත් තැනක් කිරීමට අසමත්ව ඇති බව පසුගිය සියවස අධ්‍යයනය කිරීමෙන් පෙනී යයි. සමස්ත මානව සමාජයම සොයා යන්නේ මිනිසත්කම්ය. එම නිසා මානුෂවාදය දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය ලෙස අවධාරණය කළ යුතුයැයිද මම සිතමි. කිසිදු සාධාරණ හේතුවකින් තොරව උතුරු හා දකුණු ලෙසින් බෙදා තිබෙන කොරියානු අර්ධද්වීපය එකම රාජ්‍යයක් කිරීමේදී මේ ක්‍රමය වැදගත් වනු ඇතැයි මම සිතමි.

අවසාන වශයෙන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ගත තත්ත්වය ගැනද මා යමක් කිවයුතුය. ඔබ හොඳින් දන්නා පරිදි මේ වන විට ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයක සිරවී අවසන්ය. එම අර්බුදය නිසා මතුවූ දේශපාලන අස්ථාවරත්වය හා ජන ජීවිතය අඩාලවීම දරාගත නොහැක. රොහල් වල ශල්‍යකර්ම සිදුකරන්නේ නැත. වෛද්‍යවරුන් රට අත්හැර යෑම නිසා අත්‍යවශ්‍ය සායන පවා වැසී ගොසිනි. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ආදිය සපයාගැනීම පවා දැඩි අවදානමකට ලක්වී තිබේ. දැඩි සමාජ ආතතිය සීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය භාවිතය ඉහල ගොස් ඇත. කෙසේ වෙතත් තවමත් ජන ජීවිතය ප්‍රකෘති මට්ටමට පැමිණ නැත. ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය නිසා දරුවෝ පාසල් නොයන බව වාර්තා වී ඇත. ජනතාවගෙන් සියයට පනහක් පමණ උපයන මුදලින් 75%ක් ආහාර සඳහා වියදම් කරති. අධ්‍යාපනය හෝ සෞඛ්‍ය සඳහා වියදම් කිරීමට ඔවුන්ට මුදල් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතවී වත්මන් රජය විසින් ගෙන යන වැඩපිළිවෙල නිසා සාර්ව ආර්ථික ස්ථාවරත්වය ක්‍රමයෙන් නැවතත් ස්ථාපනය වන බව පෙනෙන්නට තිබේ. එබැවින් මේ අසීරු අවස්ථාවේ ඔබ සියලු දෙනාගේ සහයෝගීතාව, සහෝදරත්වය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස මා අපේක්ෂා කරමි.

මාගේ දේශනය සමාප්ත කිරීමට පෙරාතුව මාගේ ගෞරවණීය ස්තූතිය මේ සියලු සාම ව්‍යායාමයන් පිටුපස සිටින මූන් මැතිණියට පුදකරනු කැමැත්තෙමි. එසේම මෙම කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් හා අප හට උණුසුම් කොරියානු අගන්තුක සත්කාරය දැක්වීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය යුන් යොන් හෝ මැතිතුමාට හා එතුමාගේ කාර්ය මණ්ඩලයටද මාගේ ආචාරය පුදකරමි. එමෙන්ම මගේ රටේ ආදරණීය ජනතාව මේ අසීරු අවස්ථාවේ මුහුණපා තිබෙන ගැටළු නිරාකරණය කරගැනීම සඳහා උදව් උපකාර කරන මෙන් මා මෙහි සිටින සියලුම රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් ඉල්ලා සිටිමි.

Example Image