2024 ජනවාරි 14, ප.ව. 2:52
ඉදිරි ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ශක්තිමත් කිරීම සඳහා විශාල පිරිසක් එතුමා වටා එක් රොක් වෙමින් පවතින බව විදේශ රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
ඒ මහතා 14 දින මහනුවර දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත් හි නිරත වීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළා.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද සඳහන් කර සිටියා.
“රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ පොදු අපේක්ෂකයෙක් වශයෙන් නොව ජාතික අපේක්ෂකයෙක් වශයෙනුයි. අද මේ රටට අවශ්‍ය ජාතික නායකත්වයක් බව බහුතරයක් පිළිගෙන තිබෙනවා. සියලු පක්ෂ නියෝජනය කරන විශාල පිරිස් එතුමා වටා දිනපතා එක් රොක් වෙමින් පවතිනවා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී සමගි ජන බලවේගයට සහාය දුන් විශාල පිරිසක් අද වන විට නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක් වෙනවා. සමග ජන බලවේගයේ ප්‍රබලයෝ කීප දෙනෙක්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ මේ වන විට සාකච්ඡා පවත්වනවා. අපිට සහාය දෙන්න කියලා අපි සියලුම පක්ෂ වලින් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහාය ලබාදීමේ කිසිදු ගැටළුවක් අපි දකින්නේ නෑ.
මහ මැතිවරණයක් පිළිබඳ කථිකාවක් තිබුණත් ප්‍රථමයෙන්ම එන්නේ ජනාධිපතිවරණයයි. එක්සත් ජාතික පක්ෂ නායක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට ජාතික අපේක්ෂකයා වශයෙන් තරග කරනවා. වැටී තිබුණු රට ගොඩ ගත් නායකයා වන එතුමාට නැවතත් ජනාධිපති ධුරය බාර ගන්නැයි විශාල වශයෙන් ඉල්ලීම් ගලා එනවා. බංකොලොත් වූ රට ගොඩ නැගීමේ අභියෝගය භාරගත් එතුමා හැර මේ රටේ කඩා වැටුණු ආර්ථිකය නගා සිටුවන්න වෙන කිසි කෙනෙක් නෑ කියල අද මේ රටේ ජනතාව පිළිඅරගෙන තියෙනවා. අපි දැන් ඒ අමාරු ආර්ථික කන්ද නැඟලා ඉවරයි. අපි දැන් කඳු මුදුනේ ඉන්නේ. පල්ලම බහින්නයි තියෙන්නේ. නමුත් ඒ පල්ලම අපි ඉතාමත් පරිස්සමින් බහින්න ඕනේ. රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්න ඕනි. දැන් ජනතාවට යම් පමණකින් ආර්ථික ගැටලු අඩුපාඩු තිබෙන බව අපි දන්නවා. නමුත් ලබන මාසයේ අවසන් වූ පසු ජනතාවට සහන ලැබෙනවා. තවදුරටත් ජනතාවට දුක් විඳින්න රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ දෙන්නේ නෑ.
අද අපේ රටට විදෙස් ශ්‍රමිකයන් ඩොලර් බිලියන අටහමාරක මුදලක් එවලා තිබෙනවා. ඉදිරියේදී ඒ තත්ත්වය තවත් වැඩි වෙනවා. අපේ රටේ විදෙස් ශ්‍රමිකයන් මිලියන 03 ක් පමණ සිටියත් ලියාපදිංචි වී නීත්‍යානුකූලව විදෙස් රැකියා සඳහා ගොස් තිබෙන්නේ මිලියන 1.03 ක් පමණයි. මේ මිලියන 03 න්ම අපිට පැමිණිලි ලැබිලා තියෙන්නේ දහසක් පමණ සුළු ප්‍රමාණයක් පමණයි. නමුත් මේ ඕනෑම අයකුට යම්කිසි කරදරයක් ගැටළුවක් ඇති වුණොත් අපි ඒ සඳහා විදේශ රැකියා අමාත්‍යාංශය වශයෙන් ඉදිරිපත් වෙනවා. මේ ගැටලු විශාල වශයෙන් ඇති වෙලා තියෙන්නේ නීත්‍යානුකූල නොවන අයුරින් විදේශගත වූ අයටයි.
මෙම අවස්ථාවට මහනුවර හිටපු පුරපති කේසර සේනානායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝංගහගේ ඇතුළු එජාප සංවිධායක පිරිසක් එක්ව සිටි අතර මනුෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික අපේක්ෂක ප්‍රචාරක ක්‍රියාවලියේ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික් එම කටයුතු සම්බන්ධීකාරක වශයෙන් තමා පත්කොට ඇති බැවින් එම කටයුතු ආරම්භ කිරීමට පෙර මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගේ ආශිර්වාද ලබාගත් බවයි.
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01