hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 ජූනි 25, ප.ව. 5:51



හෙටින් (26) ආරම්භ වන සති අන්තයේ කොළඹින් බැහැරව නොයන ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව විදෙස් සංචාර ඇතුළු කොළඹින් බැහැර සියලු ගමන් අවලංගු කරමින් කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා.

මන්ත්‍රීවරුන් වෙත පෞද්ගලිකවම දුරකථන මාර්ගයෙන් අදාළ දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙලෙස කොළඹින් බැහැරව නොයන ලෙස දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම විදෙස් සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණිමෙන් පසු ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ලබන 28 වැනිදා පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා, ලබන සෙනසුරාදා හෝ ඉරිදා දිනයේ බොහෝදුරට පාර්ලිමේන්තුව කැඳවීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් ලබන 27 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වී තීරණයක් ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.