hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 08, පෙ.ව. 8:29



සමගි ජන බලවේගය පක්ෂය සහ ඩලස් කණ්ඩායම අද (08) පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය සමග සන්ධාන ගතව සිටින දේශපාලන පක්ෂ බොහොමයක්  එම උත්සවයට සහභාගිවීමට නියමිතයි.

විවෘත කිරීමේ උත්සවයට සහභාගි නොවුණත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙදින විවාදයට සහභාගිවන බව ඩලස් කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවා.

මේ අතර පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කරන අවස්ථාවට සහභාගී නොවීමට විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා,

“මේක මුදල් වැය කිරීමක්. ඒ නිසාම මේ සැසිවාරය නැවත විවෘත කරන අවස්ථාවේදී සමගි ජන බලවේගය ඊට සහභාගී වන්නට බලාපොරොත්තු වෙන්නේ නැති බව මම පැහැදිලිව සඳහන් කරනවා.”

නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජාසන කථාව කිරීමට පැමිණෙන අවස්ථාවේදී ඊට විරෝධය පළකර සභාවෙන් එළියට ඒමට අපේ සියලුම මන්ත්‍රීවරුන් තීරණය කළා.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“මෙහෙම කරන්න පාර්ලිමේන්තුව ජනාධිපතිගේ සීල් එකක් නෙමෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව හෑල්ලු කරන එකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි.”

ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය හෙට (9) සහ  අනිද්දා (10) පැවැත්වෙනවා.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වන බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙනවා.

නවවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (8) පෙරවරු 10.00 ට විවෘත කරනු ලැබීමට නියමිතයි.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ ඉන් අනතුරුවයි.