hit counter

2025 මැයි මස 21 වන බදාදා

2023 ජූනි 29, පෙ.ව. 3:01



තමන් එල්ටීටීඊ සංවිධානයට බැඳී සටන් කළේ දෙමළ ජනතාවගේ ඉඩම් සිංහල ජනතාව විසින් අත්පත් කරගනු ලැබීම නිසා යැයි තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ, මඩකළපුව දිස්ත්‍රික් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවට සහභාගි වෙමින්.

මඩකළපුව දිස්ත්‍රික්කයට අයත් මහවැලි ව්‍යාපෘති ප්‍රදේශවල වැලි කැණීම් කටයුතු හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු වහා නතර කරන්නැයි ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී බලධාරීන් වෙත පවසා තිබෙනවා.

මෙහිදී චන්ද්‍රකාන්තන් මහතා මෙසේ ද සඳහන් කළා.

“අද රටේ පවතින තත්ත්වය කුමක් ද? රටේ ආර්ථික තත්ත්වය කුමක් ද? දෙමළ ජාතික සන්ධානය එක පැත්තක් පිළිබඳ පමණක් අදහස් දක්වමින් සිටිනවා. මම එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙක්. අපේ ඉඩම් සිංහල ජනතාව ආක්‍රමණය කිරීමට විරුද්ධව යුද්ධ කළා. ඒ එදා පැවති තත්ත්වය. එදා පැවති තත්ත්වය පිළිබඳව අද කතා කර පළක් නෑ. ඒ නිස යි මම දේශපාලනයට ප්‍රවේශ වුණේ. එක් පැත්තකින් ආණ්ඩුවත් අනෙක් පැත්තෙන් අපේ ජනතාවත් අපි සම්බන්ධ කළ යුතු යි. විශේෂයෙන් ජනාධිපතිවරයා හා මේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ යුතු යි. රටේ පවතින නීති රීති වෙනස් කිරීමට උත්සහ කළ යුතු යි. ඒ වෙනුවෙන් වැඩ කළ යුතුයි. එසේ නොමැතිව මේ කිසිවකින් වැඩක් වෙන්නේ නෑ.

ක්‍රමයේ වෙනසක් ඇති කළ යුතු යැයි පවසමින් අරගල කළා. ඒත් මේ රටේ මහවැලි ක්‍රමයේ වෙනසක් සිදු වුණා ද? ආණ්ඩු මාරු වුණා ද? දේශපාලනඥයන් වෙනස් වුණා ද? විශේෂ පන්ති අමතර පන්ති ගුරුවරුන් වෙනස් වුණා ද? මේ කිසිවක් වෙනස් නොකොට සමානාත්මතාවක් අපේක්ෂා කරන්නේ කොහොම ද?එබැවින් ප්‍රාදේශීය නිලධාරීන් දිස්ත්‍රික් නිලධාරීන් දේශපාලන නියෝජිතයන් මේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් තීරණ ගත යුතුයි. සැලසුම් සකස් කළ යුතු යි. මහවැලි කලාපවල වැලි ගොඩදමන්නේ නම් ඒ ගොඩ දමන්නේ කවුද? එම වැලි ගොඩ දැමීම නතර කරන්නැයි නිලධාරීන් තම අධ්‍යක්ෂවරයා මගින් දැනුම්දීමට කටයුතු කරන්න.”