hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 මැයි 01, ප.ව. 8:21



මේ වසර තුළ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවිම සඳහා සියලු පාර්ශවවල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලුදෙනාට පිළිගත හැකි විසඳුමකට එළඹීමට අපේක්ෂා කරන බවයි.

තමා රට භාරගත්තේ බිඳවැටුණු ආර්ථිකය ගොඩනැගීමට හැකි බවට වන විශ්වාසය මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

දේශපාලන ස්ථාවරත්වය ද මේ වන විට ගොඩනඟා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වූ සියලුදෙනාට ස්තූතිය පළකරන බව ද සඳහන් කළා.

එමෙන්ම නිදහසින් වසර සියයක් සපිරෙන 2048 වන විට, ඉන්දියාව 2047දීත්,  චීනය 2049දීත් සපුරා ගැනීමට අපේක්ෂා කරන අන්දමේ සංවර්ධිත ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීම ශ්‍රී ලංකාවේ ඉලක්කය විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසුවා.

2048 වසරේ දී ශ්‍රී ලංකාවේ දියුණුවේ වසර වන අතරම මේ රට ගොඩනගන්නේ වත්මන් පරපුරට පමණක් නොව අනාගත තරුණ පරපුරට සහ දරුවන්ට බවත් මැයි දින සැමරුම අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම තම උත්සාහය වන්නේ දේශපාලනය නොව රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කර පුරවැසියන් මත පැටවී ඇති බර අඩු කිරීම බවත් පැවසු ජනාධිපතිවරයා, රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට තමාට ශක්තියක් ඇති බවත් පැවසුවා.

ඒ සඳහා අමාත්‍යවරුන් සමග කටයුතු කිරීමට හැකියාව ඇති බවට තිබු විශ්වාසය හේතුවෙන් තමා ජනාධිපති ධුරයේ වගකීම භාරගත් බව ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.