2023 ජූලි 27, පෙ.ව. 2:01
ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) පස්වරුවේ ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමග පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම ස්ථාවරය බවයි.
මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබුණේ, ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර – නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහායි.
මේ අතර, පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් 07 දෙනාට ද නොතිබූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, පවතින ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවත්, තමා සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙනඒම පමණක් බවත් කියා සිටියා.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ, පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක් පමණක් ඇති තමාට එම කාර්ය තනිව සිදු කළ නොහැකි බවත්, මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා සාමූහිකව කැපවී ක්‍රියා කළයුතු බවත්ය.
පළාත් සභා 09න් 07ක්ම තිබෙන්නේ සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවල බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා නම් මේ වනවිටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බවද සඳහන් කළේය.
පළමු ලැයිස්තුවට ඇතුළත් පළාත් සභා සතු වියයුතු විෂය කිහිපයක් මධ්‍යම රජය යටතේ පවතින බවත් එබැවින් එම බලතල මෙන්ම කෘෂිකර්මාන්තය, සංචාරක වැනි ක්ෂේත්‍රවල බිම් මට්ටමේ කටයුතු පවත්වාගෙන යාමේ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා පැවසුවා.
මධ්‍යම ආණ්ඩුව කළ යුත්තේ රට වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම බවත් පළාත් සභා වෙත සෑම ක්ෂේත්‍රයකම සංවර්ධන කටයුතු සඳහා විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙහි දැක්වෙන ආකාරයට පළාත් සභා වෙත පොලිස් බලතල ලබාදීම සම්බන්ධව සියලු පාර්ශ්ව එක්වී සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමේ අවස්ථාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හැකියාව ලැබෙන ආකාරයට කටයුතු සකස් කරන ලෙස යෝජනා වී ඇති බවත්, ඒ පිළිබඳව ද සාකච්ඡා කර තීන්දුවක් ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36