hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 11, ප.ව. 6:19



මැතිවරණ වර්ෂයක් වන 2024දී ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ කුමක් පැමිණියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිව් වැනි ජයග්‍රහණය ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (09) හොරණ නගර ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් හොරණ ආසන සම්මේලනය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද සඳහන් කළා.

“රටේ තත්ත්වය යහපත් මට්ටමක පවතින්නේ නම් මැතිවරණ පැවැත්වීම අනිවාර්යයි. ඒ වෙනුවෙන් අපේ පක්ෂය කඳවුරු බඳිනවා. ඕනෑම අභියෝගයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. හොරණ ආසනයේ සෑම ග්‍රාමසේවා වසමක්ම මෙතන නියෝජනය වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා බොහොම අමාරුවෙන් ජීවිතය බේරා ගත්තේ. ඒ දවස අද. ඒ අවුරුද්ද පිරෙන කොට නැවත පොහොට්ටුව නැගිටිනවා කියන පණිවිඩයදී තිබෙනවා. තව මාස හයක් යන කොට මේ සම්මේලනය හොරණ ක්‍රීඩා පිටියේ පවත්වනවා. මට මේ දිස්ත්‍රික් නායකකම හිමි වුණේ 2015දී. මම කැමැති අභියෝගවලට.

2018 පෙබරවාරි ඡන්දයකට අපි ගියා. වසර 50කට වැඩි පක්ෂ සමඟ අපට තරග කරන්න වුණා. අවුරුදු දෙකක් නැති පුංචි පක්ෂය ඡන්දයෙන් ජය ගන්නවා. කළුතර දිස්ත්‍රික්කයේ අපි ජය ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපේ දිස්ත්‍රික්කයේ ඔබලා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ මහතා නරක කෙනෙක් නොවේ. ආරක්ෂක ලේකම්කමේ හිටපු ගෝඨාභය රාජපක්ෂ නොවෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. රටට ශක්තිමත් පාලනයක් අපි ඉල්ලුවා. ආරක්ෂක ලේකම්කමේ සිටියදී කළ දේ ජනාධිපතිවරයා වශයෙන් කළා නම් අදටත් ජනාධිපති. කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණයත් ආවා. ඒ ඡන්ද තුන ඉතිහාසයට එක් වෙනවා. දිස්ත්‍රික්කයෙන් කිසිදාක මන්ත්‍රීවරුන් 8 දෙනකු පාර්ලිමේන්තුවට ගියේ නෑ. එක්සත් ජාතික පක්ෂයට දෙකයි. අපට අටයි. හොරණ ඔබ හැමදාම ජය ගන්නා කඳවුරේ ඉන්නවා. වැඩිම ශක්තිය දෙන්නේ හොරණ ජනතාව.

ඒ වැඩවසම් ක්‍රමය අවසන්. මේ හොරණින් සතුටු වෙන්න පුළුවන් මිනිසෙක් දායාද කරනවා. හොරණ වෙනුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ප්‍රශ්න වෙනුවෙන් අපි කටයුතු කරනවා. මේ ජනතාව වෙනුවෙන් අපි කොන්ද නවන්න බය නෑ. මේ ජනතාවට අපි ඉදිරියටත් සහාය දෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිකම දුන්නේ අපි. අගමැතිකමට එදා නම් පහක් එව්වා. ඒත් අපි රනිල් වික්‍රමසිංහ ගන්න තීරණය කළා. එතුමා ජනාධිපතිවරයා හැටියටත් පත් කළා. මේ කාලයේ ඔහු ආරක්ෂා කරන්නෙත් අපි. දැන් රටක් වශයෙන් ගොඩ යන කොට අපි පාර්ලිමේන්තුවේදී තීන්දු තීරණ ගන්නවා. ඒ හරහා මේ දිස්ත්‍රික්කයට ගේන්න පුළුවන් හැම දෙයක්ම ගේනවා. ඒ නිසා අපි මේ අභියෝගය භාරගෙන තිබෙනවා. මේ 66 වැනි සම්මේලනය පැවැත්වෙන්නේ. අගෝස්තු වන කොට සියලු ආසන සම්මේලන අවසන් කරනවා. නැවත පක්ෂය නැගිට්ටවනවා.

අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සුබ පැතුම් පිරිනමනවා. ඒ වගේම අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සුබ පැතුම් ද එක් කරනවා. ඕනෑම අභියෝගයකට අපි ලෑස්තියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත්. 2024 මැතිවරණ වර්ෂයක්. මේ ආණ්ඩුවටත් බෑ මැතිවරණ කල් දාන්න. නියමිත වෙලාවට මැතිවරණය දෙන්න වෙනවා.”