hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 10, ප.ව. 12:26



යම් හෙයකින් ක්‍රිකට් තහනමකට ලක්වුවහොත් මාස 6ක කාලයක් අර්ජුන රණතුංග මහතාට භාර දී පසුව නිලවරණයක් පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අද (10) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමකට ලක්කිරීම සඳහා උත්සහයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසු ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එළැඹෙන සඳුදා දින තමා අභියාචනාධිකරණය හමුවට යන බවත් ඉන් සාධාරණයක් අපේක්ෂා කරන බවත්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් මෙච්චර දූෂණ වංචා කරද්දි  ඒ අය රැකීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් මෙරටට යන කලදසාව තමාට සිතාගත නොහැකි යැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවා.

ක්‍රිකට් ගැටලුවේදී නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය  ගැන විශ්වාසයක් නැති බව පැවසූ අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයට එරෙහිව කටයුතු කිරීමට පෞද්ගලික නීතිඥවරුන් සම්බන්ධ කර ගන්නා බවද ප්‍රකාශ කළා.

සාධාරණයක් වෙනුවෙන් සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද ඔහු සඳහන් කර සිටියා.

වසර විස්සකට වැඩි  දිස්ත්‍රික්  ක්‍රිකට් සංගම් විසුරුවා හැර නව ඡන්දයක් පැවැත්වීමට  කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද අල්ලන්නේ නැති ආයතනයක් පුද්ගලයකු නැති තරම් යැයිද  සඳහන් කළා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

රොෂාන් රණසිංහ මහතා : මම විගණකාධිපතිතුමාගේ කාර්යාලයට ගියා. ක්‍රිකට් ආයතනය විගණනය කරලා දෙන්න කියලා ඉල්ලුවා.  පාර්ලිමේන්තුවෙන් යෝජනාවක්  ආවොත් තමයි කරන්න පුළුවන් කියලා එතුමා කිව්වා. වෝහාරික විගණනය  පවත්වන ක්‍රමවේදය කුමක්ද.

කතානායක මහින්ද යාපා මහතා : අමාත්‍යාංශ ලේකම් හරහා විගණකාධිපතිට යොමු කරන්න.

රොෂාන් රණසිංහ මහතා: ඒක වෙන්නේ නෑ.

කතානායක: එහෙනම් ඒක කෝප් කමිටුවට යොමු කරන්න.

මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා : මේ ගැන කෝප්  කමිටුව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාගේ කාලේ   වෝහාරික විගණනයක් කළා. ලේකම්තුමා හරහා කෝප් කමිටුවට එවන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම ක්‍රියාදාමය.

ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා  :ක්‍රිකට් බෝර්ඩ් එකේ ප්‍රශ්නය අද ඊයේ පැන නැගුණු එකක් නොවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා. සුනිල් හඳුන්නෙත්තිගේ කාලේ කෝප් කමිටුව වෝහාරික විගණනයක් කළා. ඒකේ සම්පූර්ණ වාර්තාව තියෙනවා. දැන් තියෙන්නෙ ඒක ක්‍රියාත්මක කරන්න. දත්ත තොරතුරු ඇති තරම් තියෙනවා. ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

මන්ත්‍රී නිමල් ලාන්සා මහතා: කෝප් එකට මේ ගැන පූර්ණ බලතල තියෙනවා.

රොෂාන් රණසිංහ මහතා : එල්පීඑල් එකේ ලොකු වංචාවක් තියෙනවා. අපි ඉල්ලන්නේ වෝහාරික විගණනයක්. අනිත් වැඩ පැත්තක තියලා ප්‍රමුඛතාවයට  නියෝගයක්  දෙන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වගකීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම  මේ  ගැන කටයුතු කරන්න කියලා නීතිපතිතුමාගෙන් ඉල්ලුවා. ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා. ක්‍රීඩා නියාමනයට අධිකාරියක් පත් කිරීම වැදගත්. ක්‍රිකට්වල දූෂණ නතර වෙන්න ඕන නම් මෙවැනි ක්‍රමවේදවලට යන්න ඕන.  හොරුන්ට මේක දෙනවාද මහත්තයකු පත්කරලා ඉදිරියට ගෙනියනවාද කියන ප්‍රශ්නය තමයි මෙතන තියෙන්නෙ. මම සඳුදා  අභියාචනාධිකරණයට යනවා. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.

ක්‍රිකට්වලදී  නීතිපතිවරයාගේ වැඩපිළිවෙළ ගැන මට විශ්වාසයක් නෑ. මේ නිසා මම පෞද්ගලික නීතිඥයන් අල්ලනවා. ක්‍රිකට් එකේ සල්ලි මාර බලවත්. ඒ ගොල්ලන් අල්ලන් නැති ආයතනයක් නෑ.  අල්ලන්න ඇති පුද්ගලයකු නැහැ. ඕන මිනිහෙකුට තර්ජන කරනවා.සමාජ මාධ්‍ය හරහා ගහනවා. අවුරුදු විසි ගාණක් ඉන්න ලංකාවේ ක්‍රිකට්  සංගම්  විසුරුවාහරින්න තීන්දුවක් ගන්නවා. සංගම් විසුරුවා හැරලා නව ඡන්දයකට යන්න තීන්දු කරනවා. මෙච්චර දූෂණ කරද්දි මේ අය රකින්න කවුරුහරි උත්සහ දරනවා නම් මේරටට යන කලදසාව මට හිතාගන්න බෑ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: