hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 12, පෙ.ව. 10:04



ඉදිරියේ පැවැත්වෙන කුමන හෝ මැතිවරණයකදී රටේ දැවැන්තම හා විශාලම ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගන්නා පක්ෂය ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසුවා.

හෙතෙම මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙසේද සඳහන් කළා.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ පක්ෂය පහුගිය අවුරුද්ද ඇතුළත නොයෙකුත් ප්‍රශ්නවලට, බාධාවලට මුහුණ දුන්නා කියලා අපි කවුරුත් දන්නවා. ඒ, ඊනියා අරගලයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය ප්‍රයෝජනයට අරගෙන සමහර මේ රටේ පක්ෂ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ විනාශ කරන්න යොදා ගත්තා. පොදුජන පෙරමුණේ සාමාජිකයෝ බේරේ වැවට දාලා අමානුෂික ලෙස වධහිංසා දුන්නා. ඒ වගේම ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මහමඟ මරලා දැම්මා. ඒ වගේම අපේ මන්ත්‍රිවරුන්ගේ ගෙවල් සහ පාක්ෂිකයන්ගේ ගෙවල් ගිනි තිබ්බා. අපේ මේ පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ගිනි තියලා පක්ෂය විනාශ කරන්නයි හැදුවේ. නමුත් අපි ඉතාමත් ශක්තිමත් පක්ෂයක් හැටියට අපේ හිටපු ජනාධිපති, පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ වගේම අපේ පක්ෂයේ නිර්මාතෘවරයා හැටියට  බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම සහ සැලසුම යටතේ මේ වෙනකොට ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ මේ බිමේ තිබෙන  ශක්තිමත්ම පක්ෂය බවට පත්වෙමින් පවතිනවා.  එය කාටවත් නෑ කියන්න බෑ.

අපි මේ ශීත කාමරවල, කාර්යාලවල ඉඳගෙන කරන ප්‍රකාශ නොවේ මේවා. මම අනුරාධපුර දිස්ත්‍රික්කය භාරව සිටින පක්ෂයේ නායකයා. අපි ගමින් ගමට ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා අනුරාධපුර මැතිවරණ කොට්ඨාස 07ම ආසන බලමණ්ඩල ඉතාම සාර්ථකව පැවැත්වූවා. අපි හැම සති අන්තයකම රට පුරා ගිහින් කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, මන්ත්‍රිවරු මේ සියලු දෙනාම සහ පක්ෂයට ළැදි සියලු දෙනාම මේ කටයුත්ත කරගෙන යනවා. කවුරු මොනවා කිව්වත්, ඒ වගේම පොදුජන පෙරමුණ කවුරු විවේචනය කළත් අද වන විට බිමේ තිබෙන ශක්තිමත්ම පක්ෂයයි. කවුරු අවලාද කළත්, කවුරු අපේ කකුලෙන් ඇද්දත්  අපි මේ පක්ෂයට ආදරෙයි. මෙය ගොවි-කම්කරු පක්ෂයක්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂයේ ප්‍රතිපත්ති හරියට හඳුනා නොගත් නිසා ගැටලු ඇති වුණා. එතුමා නැතිවුණා කියලා අපේ පක්ෂයේ අපේ කටයුතු නිවැරැදිව අපි ඉස්සරහට අරගෙන යනවා. අපි ඉදිරියේදී ඉතා ශක්තිමත්ව පක්ෂය ගොඩනඟනවා.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පත්කර ගත්ත හිටපු ජනාධිපතිතුමා තනතුර අතහැරලා යනකොට ඒ තනතුරට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්කර ගත්තේ අපි. එතුමා පත්කර ගත්තේ සාමය උදා කරයි කියන විශ්වාසයෙන්. ඒ වගේම රට නැවත තිබුණු තත්ත්වයට ගොඩනඟයි කියන බලාපොරොත්තුවෙන් අපි ඡන්ද දීලා පත් කරගත්තා. කඩාවැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟෙමින් පවතිනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය. එතුමා එය ශක්තිමත් කරනවා. අපේ පක්ෂය ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ පක්ෂය. අපේ පක්ෂය අපි ශක්තිමත් කරනවා. පක්ෂ දෙකේ කාරණා දෙකක්. ආණ්ඩුව අරගෙන යන කාරණය වෙනම එකක්. අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුව අරගෙන යනවා. තම තමන්ගේ පක්ෂ අපි වෙන වෙනම ගොඩනඟනවා. අපේ  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කරලා වැටිච්ච රට ගොඩගන්න උපරිම ශක්තිය යෙදෙව්වා. එයින් පසු මාර්ග පද්ධතිය හැදුවා. ත්‍රස්තවාදීන් විනාශ කළ දේවල් නැවත එතුමා සංවර්ධනය කළා. එතුමා රට හදාගෙන ඉස්සරහට එන අවස්ථාවේ තමයි 2015දී මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය නොකෙරුවා නම්, තවත් අවුරුදු පහක් හිටියා නම් මේ රට මේ තත්ත්වයට  පත් වෙන්නේ නැහැ. ඒ පාඩුව තමයි වුණේ.”