hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:36



තමාගේ සහ තම පක්ෂයේ බහුතර මතය රාජපක්ෂවරුන් එම තනතුරෙන් ඉවත් වීම වැරදි යන්න බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (06) එක්වෙමින් කාරියවසම් මහතා මෙම අදහස් පැවැසුවා.

ඇතැම් අය තම පෞද්ගලික වුවමනා එපාකම් සපුරා ගැනීම සඳහා ළමා සමාජ වැනි දේශපාලන සංවිධාන ආරම්භ කරමින් සිටින බවත් එම කිසිදු සංවිධානයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමන නැවැත්විය නොහැකි බවත් ඔහු සඳහන් කළා.

දේශපාලන ගමනක් යෑම වෙනුවෙන් ඇතැම් අය විවිධ නව දේශපාලන පක්‍ෂ ආරම්භ කළද එම පක්‍ෂ දේශපාලන ගමනක් යන බවක් පෙනෙන්නට නැති බවද කාරියවසම් මහතා පැවැසුවා.

කුමන නව දේශපාලන සංවිධාන බිහිවුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු ඉදිරියටත් සාර්ථකව කරගෙන යන බවද පොදුජන පෙරමුණු ලේකම්වරයා කියා සිටියා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මේ රටට තියෙන ශක්තිය අපේ පක්ෂයට තියෙන ශක්තිය ඒ රාජපක්ෂ දේශපාලනයේ ශක්තිය. ඉතින් අපි පක්ෂයක් හැටියට නිර්භීතව කියනවා අපි රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමග මේ පක්ෂය ඉදිරියට ගෙනියනවා. මගේ පුද්ගලික මතයක් අපේ පක්ෂයේ බහුතරයකගේ මතයත් තියෙන්නේ රාජපක්ෂවරු ඒ තනතුරෙන් ඉවත් වෙච්ච එක වැරදියි කියලා. මේ රටේ 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා ජනාධිපතිවරයෙක් පත් කරහම ඒ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ ඒ 69 ලක්ෂයේ ජනතාවට මිසක් පාරට බහින ලක්ෂයක් විතර ජනතාවට නෙවෙයි. මේ රටේ රාජපක්ෂලා ආවේ ජනතාවගේ ඡන්දයෙන් මිසක් කිසිම දවසක බලහත්කාරයෙන් බලයට ඇවිල්ලා නෑ. අපේ දැඩි විශ්වාසයක් තියෙනවා අදටත් මේ රටේ අති බහුතරයක් ජනතාව සිටින්නේ රාජපක්ෂවරුන්ගේ ජාතික දේශපාලනය මේ රටට අවශ්‍යයි කියන ස්ථාවරයේ.”