hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 19, පෙ.ව. 11:29



මැතිවරණ ඉල්ලා කෙරෙන සටන පිළිබඳ විපක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා මේවන විට ක්‍රියාත්මක බව වාර්තා වනවා.

වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බලකරමින් ඉදිරියේදී විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ තෝරාගත් එක් දිනයක පෙළපාළියකින් පැමිණ කොළඹ නගරයට ඇතුළු වී ආණ්ඩුවට බල කිරීමට සූදනම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

දැනටමත් පවත්වා ඇති සාකච්ඡාවලදී කොළඹට ජනතාව රැගෙන එන්නේ කෙසේද, රැලි පවත්වන්නේ කොතැනද, ආදිය පිළිබඳවද ඇතැම් විපක්ෂ ක්‍රියාකරීන් සාකච්ඡා කර ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මේ අතර සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය පක්ෂ ඇතුළු විපක්ෂයේ ලොකු කුඩා සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන බව නිදහස් ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

”මේ අසංවේදී අත්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට නම් විපක්ෂයේ පළල්ම දේශපාලන පෙරමුණ හෝ සන්ධානය ගොඩනැගිය යුතුයි. එහි ආරම්භයක් විදියට අප නිදහස ජනතා සභාව විපක්ෂයේ ප්‍රධාන ධාරාවන් වන සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය මෙන්ම අනෙකුත් සියලුම ලොකු කුඩා විපක්ෂ බලවේග සියලුදෙනා එක්ක කතා කරන්න සූදානම්.” යැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කළා.

සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, උතුරු නැඟෙනහිර ද්‍රවිඩ පක්ෂ සහ වතුකරය නියෝජනය කරන සුළු පක්ෂ මෙන්ම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගෙන සිටින ස්වාධීන කණ්ඩායම්ද මැතිවරණයක් ඉල්ලා සිදුකෙරෙන විරෝධතාව වෙනුවෙන් ඒකාබද්ධ වීමට සූදානම් බව වාර්තා වනවා.

කෙසේ වෙතත් එවන් උත්සාහයකට ජාතික ජන බලවේගය ඇතුළු උතුරේ පක්ෂ සහාය නොලැබෙනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළා.