hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 03, ප.ව. 2:58



මැදිරිගිරිය නගරයේ මාර්ග දෙකකට  හිටපු අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියාගේ නම් කර එය විවෘත කිරීමට ගිය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

පසුගිය වසරේ පැවැති අරගලයේදී අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ නමින් මැදිරිගිරිය කවුඩුලුවැව මාර්ගයත් ඔහුගේ ආරක්ෂක නිළධාරී ජයන්ත ගුණවර්ධන මහතාගේ නමින් බිසෝබණ්ඩාර පාසල් මාර්ගයත් නම් කිරීමට ප්‍රාදේශීය සභාවේ අනුමැතිය හිමි වුණා.

ඒ අනුව මැදිරිගිරිය කවුඩුලුවැව මාර්ගය අමරකීර්ති අතුකෝල නමින් ද බිසෝබණ්ඩාර මාර්ගය ජයන්ත ගුණවර්ධන නමින්  නම් කර ඊට අදාල පුවරුව විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු දේශපාලඥයෝ පිරිසක් එක් වූවා.

අනතුරුව එම ස්ථානයට එක් රොක් වූ ප්‍රදේශයේ ජනතාව ඔවුන්ට සිය විරෝධය එල්ල කර සිටියා.

ඒහිදී ප්‍ර‌දේශයේ ජනතාව කියා සිටියේ ප්‍රදේශයේ අබලන් මාර්ග කොතෙකුත් තිබියදී සුදු ඇදගෙනවිත් දැනට ප්‍රයෝජනයට ගන්නා මාර්ග විවිධ පුද්ගලයන්ගේ නම්වලින් විවෘත කිරීම ලජ්ජාසහගත බවයි.

තවද අලි මිනිස් ගැටුම්වලින් දිනෙන්දින මිනිස් ජීවිත අහිමිවන කාලෙක ජනජීවිතයට බාදා නොවන ලෙස අලි ගැටළුවලට පවා පිළියම් ලබා නොදී මෙවන් විහිලු සහගත ක්‍රියා නොකරන ලෙසට උසුළුවිසිලු නොකරය යන්නැයි ගම්වාසීහු ඇමැතිවරයා ඇතුළු පිරිසට පැවැසූවා.

මෙම සිද්ධියත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වය ඇති වුණා.

පැය භාගයක් පමණ පැවැති මෙම විරෝධයෙන් පසු ඇමැතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටව ගියා.