hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 12, ප.ව. 2:40



ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සමඟ එකට එක්ව සන්ධානගතව   තරඟ කිරීම සදහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා පොදු පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසුවා.

හොරිවිල ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නිරතව සිටින අවස්ථාවේදී  මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු  අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සූදානම්ක් පවතින්නේ ද යන්න විමසීමේදී එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි දාහක් මුදලක් අවශ්‍ය බවත් අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදීම ආදී කටයුතු පිළිබඳව අවධානය යොමුවී මැතිවරණ කොමිසන් සභාවේ ක්‍රියාවලිය දෙස බලා සිටින බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණදීම සඳහා සූදානමින් සිටින බවද පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හමුවේ පොහොර ගැටලුව ඇති කළ නිසා රටේ ප්‍රශ්න ඇති වූ බවයි.

එසේ නොවන්නට පක්ෂයක් හැටියට රටට කිසිදු අසාධාරණයක් සිදු කර නැති බව ද පෙන්වා දුන්නා.

පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ගමට යා නොහැකි බවට නැගෙන චෝදනාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මේ වන විටත් තමන් ඇතුළු කණ්ඩායම තම ප්‍රදේශයේ ගම්මානවල සැරි සරමින් දේශපාලන කටයුතුවල නිරතව සිටින බව ද චන්ද්‍රසේන මහතා පැවසුවා.

මේ අතර පක්ෂ ගණනාවක් එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා මය අවස්ථාවන් සිදුවෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදීරි   දේශපාලන කටයුතු තවදුරටත් සන්ධානගතව සිදුකරන බවද හෙතෙම සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිනම් එම සන්ධානයට එකතුව වීමට හැකි බවද පෙන්වා දුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන තත්වය කෙසේදැයි මාධ්‍යවේදීන් විමසීමේ දී ඊට සිනහවකින් පිළිතුරු දුන් හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසිය යුතු බවයි.