hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 17, පෙ.ව. 9:17



අපි ජාතික සාමූහිකය විදිහට මේ සම්මන්ත්‍රණ මාලාව කරගෙන යන්නේ 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එක එක කණ්ඩායම් අද සමාජය තුළ පතුරවන මිථ්‍යා මත වලට එරෙහිව, සමාජය තුළ වපුරමින් යන බොරු වලට එරෙහිව සත්‍ය සමාජගත කිරීමේ අධිෂ්ඨානයෙන් යැයි නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා අලුතින් හිතමු ජාතික සාමූහිකයේ පානදුර දී පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින් කියා සිටියා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ලෝකේ 19 වැනි ශතවර්ෂය ගත්තොත් ඒකාලේ කඳවුරු දෙකක් තිබුණා, එකක් ධනවාදී බල කඳවුර, අනික සමාජවාදී බල කඳවුර, අපේ රටත් විටෙක ධනවාදී බල කඳවුරට පක්ෂවත්, විටෙක සමාජවාදී බල කඳවුරට පක්ෂවත් 75 වසරක් විවිධ පිරිස් රට පාලනය කරා. හැබැයි බටහිර රටවල්වලට අවශ්‍ය වුණාම රටවල් ආර්ථික වශයෙන්, උපාය මාර්ගික වශයෙන් වට්ටවන්න ඔවුන් විවිධ බළල් අත් යොදවනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙත් අපේ රට වට්ටන්න, අපේ රට උපායමාර්ගිකව අරාජික කරන්න, අපේ රට විනාශ කරන්න බටහිරින් හෝ වෙනත් කවුරුහරි හදපු බළල් අතක් විදිහට මම දකිනවා.

1965 මැයි 14 වෙනිදා තමයි රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ හදන්නේ, 1971 මාර්තු මාසේ 6 වැනිදා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහර දීලා 71 කැරල්ල ආරම්භ කරනවා.  71 අප්‍රේල් 6 වැනිදා වැල්ලවාය පොලිසිය ඇතුළු පොලිස් ස්ථාන 92කට පහර දීලා රටේ පාලන බලය අත්පත් කරගන්න හදනවා. මතුගම පොලිසිය අත්පත් කරගෙන පොලිස් නිලධාරීන් දෙන්නෙක් කෲර ලෙස පොලිසිය ඇතුලෙම ඝාතනය කරලා ආයුධ ටිකත් පැහැර ගත්තා. ඔන්න එදා සමාජවාදීන්ගේ තරම, අද සියල්ලන්ටම ඒවා අමතක වෙලා.

අර දේශපාලනඥයෙක්ගේ ගෙදර වලං හෝදන්න ලෑස්ති වෙලා හිටපු ශානි අබේසේකර මහත්තයා දැන් අනුර කුමාර හාමුගේ ගෙදර වලං හෝදන්න ගිහින්. තමන්ගේ සහෝදර නිලධාරීන් දහස් ගණනක් ඝාතනය කරපු, පොලිසියට හමුදාවට බැඳුන නිලධාරීන්, ඔවුන්ගේ දෙමව්පියෝ අමු අමුවේ ඝාතනය කරපු සමාජවාදීන් එක්ක එකතු වෙන්න ලැජ්ජ නැද්ද කියලා අපි ශානි අබේසේකර මහත්තයගෙන් අහනවා. යහපාලන ආණ්ඩුව කාලේ හැදුව දූෂණ විරෝධී කාර්‍යාලය මෙහෙයවපු අනුර කුමාර දිසානායක මහත්තයගේ කුලී වැඩ ටික කලේ ඔය ශානි අබේසේකරලා තමයි,  ඒ නිසා කොහොමත් ශානිලාට රැකවරණය ගන්න වෙන්නේ අනුර කුමාරගෙන් තමයි. කියන්න කණගාටුයි එදා දූෂණ විරෝධී කාර්යාලයෙන් අල්ලපු දූෂණයකුත් නෑ, හිරේ දාපු හොරු, වංචාකාරයොත් නෑ.

අද අනුර කුමාර දිසානායක මහත්තයා, ලාල් කාන්ත මහත්තයා කියනවා දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ජාතික ව්‍යුහයේ එක කොටසක් වෙලා තියෙනවා ඒක නිසා අපේ ආණ්ඩුවක් යටතේ පළාත් සභා මැතිවරණ පවත්වනවා කියලා, අවුරුදු 35කට පස්සේ තමයි ජනතා විමුක්ති පෙරමුණට තේරෙන්නේ එදා ජයවර්ධන ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරපු උපාය මාර්ගික ක්‍රියාවලිය හරි කියලා හැබැයි ඒ වෙනුවෙන් හතළිස් දහසක් තරුණ ජීවිත විනාශ වුණා. ඒ වෙනුවෙන් බස් රථ ගිනිතිබ්බා, කර්මාන්තශාලා ගිනිතිබ්බා. ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බා. ඒ සිදුකරපු විනාශ ගැන රටට සිදුකරපු පාඩුව ගැන අද කතා නෑ. අද අනුර කුමාර මහත්තයලා ලාල් කාන්තලා , බිමල් රත්නායකලා, හඳුන්නෙත්තිලා ලෝකේ වටේ ගිහිල්ලා සොරි කිව්වට හරියන්නේ  නෑ  මේවට සාධාරණයක් වෙන්න ඕන.

ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ වෙච්ච හැම අපරාධයක් සම්බන්ධයෙන්ම කොමිෂන් සභා පත් කලා. මේ රටේ වෙච්ච හැම ඝාතනයක්, හැම සංහාරයක් සම්බන්ධයෙන්ම ස්මාරක ඉදිකළා. එළාර, පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින්, යුද්ධය වෙනුවෙන් මියගිය විරෝධාර රණවිරුවන් වෙනුවෙන් ස්මාරක හදපු මිනිස්සු අපි. හැබැයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය කරපු හැටදහසක් වෙනුවෙන් අද වනතුරු එක ස්මාරකයක් හදලා නෑ. නමුත් ජවිපෙ නායකයින් උජාරුවට ඉල්මහ විරුවන් සමරනවා.

මට වයස අවුරුදු හතරෙදි මගේ තාත්තාව ඝාතනය කළේ එතුමා කොමියුනිස්ට් මතවාදයක් දරපු නිසා, 

මම වගේ පිය සෙනෙහස අහිමි වෙච්ච දරුවෝ කී දෙනෙක් මේ රටේ ඉන්නවද. මොකක්ද ඔවුන් වෙච්ච සාධාරණය. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට අපට කොළඹින් පර්චස් දෙකක් දෙන්න,. එදා ජවිපෙ විසින් ඝාතනය කළ අහිසංක ජීවිත සිහිපත් කරන්න ස්මාරකයක් හදන්න.

පසුගිය දිනවල අපි දැක්කා අර්බුද මැද්දේ යන රටේ අලුත් දේශපාලන සන්ධාන හදනවා. ඔවුන් කියනවා මේ හදන්නේ අලුත්ම අලුත් ජාතිකවාදී කඳවුරලු මං අහනවා ඒ කට්ටියගෙන් මම විශ්වාස කරන විදියට මේ රටේ බිහිවෙච්ච හොඳම ජාතිකවාදී නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා ගෙදර යවන්න ඔය සුදු ඇදගෙන පපුවේ සිංහ කොඩිය ගහගත්ත අයත් දායක වුණා කියන එක පැහැදිලියි. 

දැන් අපිට ඉතිහාසයට විසින් බල කරනවා වත්මන් ආර්ථික අර්බුදය හමුවේ අලුත් ජාතිකවාදී බලවේගයක් හදන්න හැබැයි ඒ හදන ජාතිකවාදී බලවේගය ඉන්දියාවෙන්, චීනෙන්, ඇමරිකාවෙන් එන ආයෝජකයන්ට විරුද්ධ වෙන්න  නෙවෙයි, අපේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය රැකගෙන, හරි නීති පද්ධතියක් ස්ථාපිත කළාම කිසිකෙනෙකුට බය වෙන්න දෙයක් නෑ, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව දියුණු වුණේ එහෙමයි. සුනිල් හදුන්නෙත්තිලා එක එක බිල්ලෝ මවනවා දැන්, එලෝන් මස්ක් එන්නේ මේ භූමිය අරගෙන යන්න නෙවෙයි එතුමා එන්නේ තාක්ෂණය සම්බන්ධයෙන් ආයෝජනය කරන්න.

ඒක නිසා හරි පැහැදිලිවම නොකළ යුත්තේ කුමක්ද කියලා අපි කියනවා, නොකළ යුත්තේ කට උල්කරලා කියන බොරු වලට රැවටිලා වෛරය වපුරන මේ වෛරයට අහුවෙලා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජාතික ජන බලවේගයට ඡන්දෙ දෙන එක, ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන වෙන ඕනම කෙනෙක්ට ඡන්දය දෙන්න. ජවිපෙ නියෝජනය කරන ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නොත් නැවත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ බැලට් එකෙන් පාලකයෙක් පත් කරගන්න වෙන එකක් නෑ බුලට් එකෙන් තමයි රට පාලනය වෙන්නේ, ඒ වගේම සුදු ඇදගෙන රට හමුවේ පෙනී සිටින බොරු ජාතිකවාදීන්ට රැවටෙන්න එපා කියලත් ඉල්ලනවා.

යථාර්ථය නිවැරදිව තේරුම් ගෙන ජාත්‍යන්තරයේ සහයෝගයෙන් නිසි ආර්ථික කළමනාකරණයක් කරන්න පුළුවන් අර්බුදයට සැබෑ විසඳුම් දෙන්න පුළුවන් නායකයෙක් 2024 ජනාධිපතිවරණයේ පත් කරගනිමු යැයි ඉල්ලා සිටිනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.