hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2024 මැයි 31, ප.ව. 12:01



අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා සහ ඇතුළු පිරිසක් නුවරඑළිය වතු යායකට ඇතුළුවී එහි පාලනාධිකාරිය සමඟින් ඇති කරගත් මතභේදයක් හේතුවෙන් කලබලකාරී තත්ත්වයක් ඊයේ උද්ගත වී තිබෙනවා.

අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් සිය පිරිස සමඟ එක් වී එම වතු යාය හිමි කැලණිවැලි ටැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් ඇතුළු කළමනාකරුවන් පැය කිහිපයක් තිස්සේ කාර්යාල අඩස්සියට පත් කිරීමට කටයුතු කිරීමත් සමඟ එහි උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන තිබිණි.

කැලණි වැලි වතු සමාගමට අයත් උඩ රදැල්ල වතු යායේ සේවය කළ කම්කරුවන් කිහිප දෙනෙකුගේ සේවය තහනම් කර ඇති අතර ඔවුන් යළි සේවයේ පිහිටුවීමට එම සමාගම් කළමනාකාරීත්වයෙන් එකඟතාව පළ නොවීමට විරෝධය පළ කරමින් ඇමැතිවරයා ඇතුළු පිරිස මේ අයුරින් එහි පාලනාධිකාරීය කාර්යාල අඩස්සියට ගෙන ඇත.

එහිදී ඇමැතිවරයා ඇතුළු පිරිස වතු පාලනාධිකාරියට තර්ජනය කරමින් කලහකාර් ලෙස හැසිරි ඇති බවද පැවසේ.

කැලණි වැලි තේ වතු සමාගමට අයත් සියලුම තේ වතුවල නිෂ්පාදනය කරන නිමි තේ කොළ, වෙන්දේසිය සඳහා රැගෙන යෑමට ඉඩ ලබා නොදෙන බව පවසමින් ඇමැතිවරයා ඇතුළු පිරිස තර්ජනය කර ඇතැයි වාර්තා වෙනවා.

එම වතු සමාගමට අයත් නානුඔය උඩ රදැල්ල වතුයායේ වතු පාලන අධිකාර්ය තේ ගස් ගලවා කෝපි වගාව සිදු කිරීමට තීරණය කර බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටියදී එයට විරෝධය පළ කළ එම වතුයායේ වතු කම්කරුවන් කිහිපදෙනකුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පාලනාධිකාරීය කටයුතු කොට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නුවර එළිය සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයට එම කම්කරුවන් සිදු කළ පැමිණිල්ලක් පිළිබඳව සහකාර කම්කරු කොමසාරිස්වරයා ඊයේ (30) දෙපාර්ශ්වයම කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇත.

එම සාකච්ඡාවට පැමිණිලි පාර්ශ්වය, වතු පාලන අධිකාරිය සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් සහභාගි වී ඇති අතර එහිදී වතු පාලන අධිකාරීය තාවකාලිකට වැඩ තහනම් කළ වතු කම්කරුවන්ට යළිත් වැඩ ලබාදීමට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් එම සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

එයට විරෝධය පාමින් එම වතු සමාගමේ සියලුම වතුවල නිෂ්පාදනය කරන නිමි තේ කොළඹ තේ වෙන්දේසිය සඳහා රැගෙන යෑමට ඉඩ ලබා නොදෙන ලෙස එම වෘත්තීය සමිතියේ සියලුම සාමාජිකයන්ට දැනුවත් කිරීමටද අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් කටයුතු කොට තිබෙනවා.

මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන තෙක් එම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා අවධාරණය කොට ඇත.

මෙම තත්ත්වය මත ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබිණි.