2023 මැයි 23, පෙ.ව. 11:50
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටුනායක ගුවන්තොටුපොළේදී රටට ඇතුළුවීමට නොදී හරවා යැවූ චීන ජාතිකයකු නැවතත් ආගමන විගමන පාලකවරයාගේ අනුමැතියෙන් පිළිගැනීම ගැන අමාත්‍යාංශ මට්ටමින් විමර්ශනයක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක ආමාත්‍ය ටිරාන් අලස් ඊයේ (22) පැවැසුවා.
අදාළ සිද්ධියට සම්බන්ධ වූ නිලධාරීන් හා එදින සිදු වූයේ කුමක් ද යන්න විමර්ශනය කිරීම මෙහි අරමුණ බවද හෙතෙම සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාගෙන් තමා ප්‍රශ්න කරනු ලැබූ බවත් එදින ඇති වූ සිද්ධියේ යම්කිසි වැරැද්දක් සිදුව ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.
චීන ජාතිකයකුට තව රටක ගුවන් ගුමන් බලපත්‍රයක් තබා ගත නොහැකි බවත් එවැනි පසුබිමක අදාළ පුද්ගලයා සතුව ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තිබුණ බවත් ඔහු පැවැසුවා.
අදාළ චීන ජාතිකයා රටට ඇතුළු කර ගනු ලැබුවේ දේශපාලනඥයකුගේ මැදිහත්වීමක් හේතුවෙන් යැයි තමාට ස්ථිරවම පැවැසිය නොහැකි බව ද ඔහු සඳහන් කළා.
චීන රජයේ ගුවන් ගමන් බලපත්‍රය ඔහු සතුව තිබුණ හේතුවෙන් අදාළ පුද්ගලයාට රටට ඇතුළුවීමට අවසර ලබා දුන් බවද ඔහු පැවැසුවා.
ඒ අදාළ අවසරය වහාම නතර කර ඔහුව නැවත ආගමන විගමන කාර්යාලයට කැඳවන්නට තමා උපදෙස් දුන් බවත් චීන තානාපති කාර්යාලය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ලැබෙන උපදෙස් මත තීරණයක් ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළා.
ඕනෑම පුද්ගලයකුට නිලධාරීන්ට කතා කිරීමට අවස්ථාවක් ඇති නමුත් අදාළ පුද්ගලයන් ඉල්ලා සිටින උපකාරයන්වලට සහාය දීමට පෙර නිලධාරීන් නිවැරදි දේ කුමක් ද යන්න අවබෝධ කර ගත යුතු බවද ඔහු පැවැසුවා.
දෙපාර්තමේන්තුව තුළ සිදු කරනු ලැබුවේ කුමක්ද යන්න හා මේ සඳහා සම්බන්ධ නිලධාරීන් කවුද යන්න කඩිනමින් සොයා බලන බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවා.
අදාළ චීන ජාතිකයා තවත් දෙදෙනකු සමඟ පසුගිය 18 වැනි දින රාත්‍රි ඩුබායි හි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී එක් චීන ජාතිකයකු සතුව ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තිබී තිබෙනවා.
ඒ අනුව එම චීන ජාතිකයා ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ භාරයේ රඳවා තබාගැනීමට පියවර ගැනීමත් සමඟ ඔහු එයට විරෝධය පළ කර තිබෙනවා.
අදාළ චීන ජාතික ආයෝජකයා සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්රයක්ද තිබීම හේතුවෙන් මෙම ගැටලුව මතුව තිබෙනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39