hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 16, පෙ.ව. 4:32



පුරාවිද්‍යා ඉඩම් වලට කිසිදු හානිකර දෙයක් නොවන බවට පමණක් තමන්ට සහතික විය හැකි බව සංස්කෘතික කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.                                                              

මහනුවර හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (15) පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍යවේදීන් උතුරු ප්‍රදේශයේ කුරුන්දි විහාරයට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ඉඩම් ගැටළුව පිළිබඳ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඒ මහතා මේ බව සඳහන් කළා.                                                                                                           

උතුරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ගැටළුව පිළිබඳ මාධ්‍යවේදීන්ගේ පැන වලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා තමාට මෙතෙක් කිසිදු කැඳවීමක් නොලද බවද කියා සිටියා.                                                                                       

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව තමාට කිසිවක් කළ නොහැකි බවත් එය තමන්ට ගැටලුවක් නොවන බවත් මාධ්‍ය ආයතන වලට මීට වඩා කතා කිරීමට රටේ ජනතා ප්‍රශ්න ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.                                                                               

තවදුරටත් මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න හමුවේ පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍යවේදීන්ට සෑම විටකම පෙනෙන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනා පමණක් බවත් මේ රටේ ජීවත් වන්නෙ එම 225 දෙනා පමණක් නොවන බවයි.                 

මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන සෑම විටකම මාධ්ය ආචාරධර්ම පිළිපදිමින් කටයුතු කළ යුතු බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මහනුවර – කමල් සුරවීර