hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 ජූලි 10, ප.ව. 5:23



මේ රටට අත්වූ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීම හා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවක් පසුගිය දා කතානායකවරයා විසින් පත්කරනු ලැබුවා.

එහි සභාපතිත්වය ලබා දී තිබුණේ පොහොට්ටුවේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වෙතයි. එහි සෙසු සාමාජිකයන් ලෙස පත්කර තිබුණේ නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩී. වී. චානක, මහින්දානන්ද අලුත්ගමගේ, ඉරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, හර්ෂණ රාජකරුණා, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්.

රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට හේතු කාරක වූ බහුතරයක් පිරිසගෙන් සමන්විත කමිටුවක් මගින් ඊට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵල බැවින් තමන් එම කමිටුවෙන් ඉල්ලා අස්වන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් පවසා තිබෙනවා.

ඔහු මේ පිළිබඳව කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇත්තේ අද (10) දිනයේ යි.

“කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

කථානායකතුමනි,

මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීම හා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමයි

ඉහත විශේෂ කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස මාගේ නමද එම විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ඉදිරිපත් කරනු ලැබ තිබිණි. කෙසේ වුවද ආණ්ඩු පක්ෂයෙන් මෙම කාරක සභාව වෙත යෝජනා කරනු ලැබ ඇති නම් පිළිබඳව මේ වන විට ගොඩනැගී ඇත්තේ මතභේදාත්මක තත්වයක් බව නොරහසකි.

රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට හේතු කාරක වූ බහුතරයක් පිරිසගෙන් සමන්විත කමිටුවක් මගින් ඊට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵලය. මේ තත්වය තුළ එවැනි කමිටුවක් නියෝජනය කිරීම අර්ථ විරහිත වන බැවින් මම එම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි.

විජිත හේරත්
පාර්ලිමේන්තු මන්ත්‍රී
2023.07.10”