2022 ජූනි 01, ප.ව. 1:11
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.
ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසකගේ මෙන්ම විපක්ෂයේ පිරිසකගේද සහය ලැබෙන බව වාර්තා වනවා. එම සහාය ලබා ගැනීමටද මේවනවිට සාකච්ඡාද ආරම්භ කර තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පැවසුවා.
විශේෂයෙන් ශ්රීලනිපය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට නව සන්ධානයක් ගොඩනැගීමටයි තීරණය වී තිබෙන්නේ.
සියලු දෙනාට එක්විය හැකි පොදු වැඩපිළිවෙලකට සහ එක් සන්ධානයකට ඒකරාශී වෙමින් ජනතාව ඉල්ලන නව වෙනස ඇති කිරීමට එහි මූලික අරමුණ වී තිබෙනවා.
මේවන විට ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම තුළ සක්‍රීය දායකත්වයක් ශ්රීලනිපය තුළ නොතිබුණත් ස්වාධීන කණ්ඩායමේද සහය ලබා ගැනීමට නියමිතයි.
අලුත් සන්ධානයක්
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගියදා පැවසූවේ ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 10 එක්ව ඉදිරියේදී නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන බවයි.
මේ පිළිබඳව හා 21 වන සංශෝධනය පිළිබඳව පක්ෂ 10 සාමාජිකයන් අතර සාකච්ඡාවක් පසුගිය දා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබුණා.
එහිදී මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මෙම සන්ධානයට තවම නමක් සහ නායකයෙකු යෝජනා වී නැතැයි ද නීත්‍යනුකූල ලෙස ගොඩනැගෙන මෙම සන්ධානය සඳහා සුදුසු නායකයන් කිහිප දෙනෙකුම තම පක්ෂ එකමුතුවේ සිටින බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
වත්මන් අර්බුද හමුවේ ආණ්ඩුව වෙනත් පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරන්නට යනවා නම් ඊට තම දේශපාලන සන්ධානය එකහෙළා එරෙහිවන බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියා.
විමල්ට තැන දෙයි
කෙසේ වෙතත් ආණ්ඩුවේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10යේ ප්‍රධානත්වයෙන් ඉදිරියේ ගොඩනැගෙන නව සන්ධානයක නායකයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පත් කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා.
එම පක්ෂ නායකයින්ගේ හමුවක් ඊයේ කොළඹදී පැවැති අතර, ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ පිළිබඳ දරන මතය කුමක්ද යන්න තවම පිළිතුරු දී නැත.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39