hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 10:19



ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට අදාළ අභියාචනා තීන්දුව නිලවරණ කමිටුව විසින් ඊයේ (04 වැනිදා )ප්‍රකාශයට පත් කළ අතර සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කළ අනුරාධපුර ලීග් සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ නාමයෝජනා අභියාචනා කමිටුව විසින්ද ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මෙවර නිලවරණය සඳහා පාර්ශව දෙකකින් නාමයෝජනා ඉදිරිපත් කර තිබූ අතර එහි එක් පාර්ශවයක් වූ අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප කළා.

අනතුරුව නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට ඉන් පසුව අවස්ථාව සලසා දී තිබුණු අතර එම අභියාචනා පිළිබඳ විමසා බැලූ කමිටුව මෙම තීරණය ඊයේ සවස දැනුම් දුන්නේය.

කෙසේ ඔවුන්ගේ පාර්ශ්වයෙන්
විධායක සභික තනතුරට නාමයෝජනා ඉදිරිපත් කළ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්) යන අයගේ ප්‍රතික්ෂේපිත වූ නාමයෝජනා පමණක් පිළිගැනීමට නිලවරණ කමිටුව එකගතාවය පළ කර ඇත.

නිලවරණය සඳහා නාම යෝජනා භාර දුන් අනෙක් පාර්ශවය වූ ජස්වර් උමාර් මහතාගේ පාර්ශ්වයට ද විරෝධතා ඉදිරිපත්ව තිබුණ ද ඒවා ප්‍රතික්ෂේප වුණා.

ඒ අනුව ලබන 29 වැනිදා පැවැත්වෙන පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර් පාර්ශ්වයෙන් 13 දෙනෙක් තරග වදින අතර අනෙක් පාර්ශවයෙන් 9 දෙනෙක් තරඟ වදිති.

ඉදිරි වසර 4 ක ධූර කාලය සඳහා පාපන්දු සම්මේලනයට නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් ලබන 29 වැනිදා නිලවරණය පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ නාමයෝජනා භාරගැනීම පසුගිය 19 වැනිදා ආරම්භ වී 29 වැනිදා අවසන් විණි.

අභියාචනා කමිටුව විසින් ද ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා මෙසේය.

සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් දක්ෂිත සුමතිපාල, උපසභාපති තනතුරට නාමයෝජනා දුන් ටී.එල්. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය)