hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 9:05



22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ආණ්ඩු පක්ෂය තුල බෙදීමක් හටගෙන තිබෙනවා.

ඒ ඊට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් ලෙසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව කටයුතු කරනු ඇති බවත් එම පක්ෂයේ කැබිනට් ඇමතිවරු ඊට පක්ෂව කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් වාර්තා වනවා.

මේ අතර ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට පක්ෂව ඡන්දය ලබා දීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ඇති නිසා කැබිනට් ඇමතිවරු ඊට පක්ෂව ඡන්දය භාවිතා කරන බවයි.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් තමන්ට කැමති ආකාරයෙන් ඡන්දය භාවිතා කිරීමේ නිදහස මන්ත්‍රීවරුන්ට තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ජනතාව බලාපොරොත්තු වන ආකාරයෙන් ඉෂ්ඨ වේ යැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා කියා සිටියා.

එකම පක්‍ෂයේ වුවත් මන්ත්‍රීවරුන් අතර, පරස්පර අදහස් තිබිය හැක බව ද ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිමය අර්බුදයකට ලක්වීමෙන් තවදුරටත් පමාවන ලකුණු පහළ වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

එම අර්බුදය හටගත්තේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කිරීමට නම් අලුතින් පත්වන පාර්ලිමේන්තුවක් වසර 2 ½ කින් විසුරුවා හැරීමට ජනපතිට ඇති බලය වසර 4 ½ කරන ලෙස පොහොට්ටුවේ මන්ත්‍රීන් කළ ඉල්ලීම ව්‍යවස්ථානුකූලව ඉටු කළ නොහැකි බවට නීතිපතිවරයා මැතිසබේ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දීමත් සමඟයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව හමුවට කැඳවා තිබුණා. 

එහිදී කතානායකවරයා ප්‍රමුඛ පක්ෂ නායකයන්ට නීතිපතිවරයා උපදෙස් දුන්නේ ජනාධිපතිට මැතිසබය විසුරුවා හැරීමට ඇති බලය වසර 2 සිට වසර 4 දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධනය ව්‍යවස්ථාව සම්බන්ධ විවාදයේ කාරක සභා අවස්ථාවේදී සම්මත කළ නොහැකි බවයි.

එසේ වන්නේ එම යෝජනාව යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතේ මූලික හරයට පටහැණි නිසා බවද නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා. එසේම මැතිසබයේ 2/3 ක ඡන්දයෙන්වත් එවන් සංශෝධනයක් සම්මත කළ නොහැකි බවද නීතිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මැතිසබය විසුරුවීම සම්බන්ධ මෙවන් වගන්තියක් ව්‍යවස්ථානුකූලව ගෙන එන්නේ නම් ඊට වෙනම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් ඊට ශ්‍රේෂ්ඨාධිකරණ මතය ද විමසිය යුතු යැයි හෙතෙම වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

මෙම සංශෝධනය නොමැති නම් පොහොට්ටු මන්ත්‍රීන් ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ නොකරන බව මේ වන විටත් ප්‍රකාශ කර ඇති බැවින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම විශාල ගැටලුවක් බවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: